2018 දී මෙරටින් ගෙනගිය ආයෝජනවල ශුද්ධ වටිනාකම ඩොලර් බිලියනය ඉක්මවයි

    March, 14, 2019

    2018 දෙසැම්බර් මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ සහ කොළඹ කොටස් වෙළෙඳපොළ වෙතින් විදේශීය ආයෝජන ආපසු රැගෙන යෑම් වාර්තා විය.

    දෙසැම්බර් මාසය තුළ රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙතින් එක්සත් ජනපද ඩොලර් මිලියන 188 ක ශුද්ධ ගෙවීමක් වාර්තා වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස 2018 වසර තුළ සමුච්ඡිත ශුද්ධ ගෙවීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 990 ක් විය.

    ද්විතියීක සහ ප්‍රාථමික වෙළෙඳපොළ ගනුදෙනු අන්තර්ගත කොළඹ කොටස් වෙළෙඳපොළෙහි විදේශීය ආයෝජන 2018 දෙසැම්බර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 26 ක ශුද්ධ ගෙවීම්ක වාර්තා කළේය.

    ඒ අනුව 2018 වසරේ කොළඹ කොටස් වෙළෙඳපොළ වෙතින් වූ සමුච්ඡිත ශුද්ධ ගෙවීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 55 ක්වූ අතර, එය ද්විතීයික වෙළෙඳපොළ වෙතින් වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 133 ක ශුද්ධ ගෙවීමකින් සහ ප්‍රාථමික වෙළෙඳපොළ වෙත වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 77 ක ලැබීමකින් සමන්විත විය.

    2018 දෙසැම්බර් මාසයේ දී රජය වෙත වූ දිගුකාලීන ණය, එක්සත් ජනපද ඩොලර් මිලියන 192ක ශුද්ධ ගෙවීමක් වාර්තා කළේය. කෙසේ වුවත්, 2018 වර්ෂය සඳහා රජය වෙත වූ දිගුකාලීන ණය එක්සත් ජනපද ඩොලර් මිලියන 558ක සමුච්ඡිත ශුද්ධ ලැබීමක් වාර්තා කළේය.