2018 දෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 3.7% ක වර්ධනයක්

    September, 19, 2018

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2018 දෙවන කාර්තුව (අප්‍රේල්, මැයි, ජුනි) සඳහා  දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක නිෂ්පාදන ප්‍රවේශය අනුව පවතින මිල ගණන් යටතේ සහ ස්ථාවර මිල ගණන් (2010) යටතේ ඇස්තමේන්තු කර  නිකුත් කොට ඇත.

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අනාවරණය කරන පරිදි 2018 දෙවන කාර්තුව සදහා ඇස්තමේන්තු කර ඇති ආර්ථික වර්ධන වේගය සියයට 3.7 කි. මෙම වසරේ දෙවන කාර්තුව සදහා ස්ථාවර මිල (2010) ගණන් යටතේ ඇස්තමේන්තු කරනු ලැබු ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2,264,445 කි. තව ද පසුගිය වසරේ දෙවන කාර්තුවේ දී මෙම අගය රුපියල් මිලියන 2,183,122 ක් විය.

    ආර්ථිකයේ ප්‍රධාන සංරචක වන කෘෂිකර්මය, කර්මාන්ත, සේවා සහ භාණ්ඩ මත අය කෙරෙන සහනාධාර අඩුකල බදු 2018 වර්ෂයේ දෙවන කාර්තුවේ පවත්නා මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතයට දක්වනු ලබන දායකත්වය පිළිවෙලින් සියයට 8.4 ක්, සියයට 25.6 ක්, සියයට 57.1 ක් සහ සියයට 8.9 ක් ලෙස වාර්තා වේ.

    කෘෂිකාර්මික ආර්ථික කටයුතු පෙර වර්ෂයේ දෙවන කාර්තුවේ වාර්තා වු සියයට 3.1ක ඝෘණ වර්ධනයට සාපේක්ෂව 2018 වර්ෂයේ දෙවන කාර්තුවේ දී  සියයට 4.5 ක ධන වර්ධන වේගයක් වාර්තා කර තිබීම කැපී පෙනේ. එසේම පසුගිය වසරේ දෙවන කාර්තුවට සාපේක්ෂව, කර්මාන්ත ආර්ථික කටයුතු 2018 වර්ෂයේ දෙවන කාර්තුවේ දී සියයට 2.3 ක වර්ධනයක් වාර්තා කර ඇති අතර සේවා අංශයේ ආර්ථික කටයුතු  තවදුරටත් සියයට 4.8 කින් වර්ධනය වී ඇත.

    ප්‍රධාන කෘෂිකාර්මික ආර්ථික කටයුතු අතුරින් “වී හැර අනෙකුත් ධාන්‍ය වගා කිරීම” ,  “වී වගා කිරීම”, “එළවළු වගා කිරීම” සහ “පොල් වගාව ඇතුළත් තෙල් සහිත බෝග වගාව”  පිළිවෙලින් සියයට 19.2 ක්, සියයට 59.3ක්, සියයට 9.6ක් සහ සියයට 5.4ක් වශයෙන් ධන වර්ධන වේගයන් වාර්තා කර තිබීම කැපී පෙනේ. එසේ ම “පළතුරු වගා කිරීම”, “කුළුබඩු වගා කිරීම”, “සත්ව නිෂ්පාදන” “මිරිදිය ධීවර කටයුතු” යන ක්‍රියාකාරකම් පිළිවෙලින් සියයට 6.9 ක්, සියයට 3.1 ක්, සියයට 2.6 ක් සහ සියයට 32.8ක් යනාදී වශයෙන් සැලකිය යුතු ධන වර්ධන වේගයන් වාර්තා කර ඇත. කෙසේ වෙතත් 2018 වර්ෂයේ දෙවන කාර්තුවේ දී  “තේ වගා කිරීම”, “රබර් වගා කිරීම” සහ “කරදිය ධීවර කටයුතු”  යන ප්‍රධාන කෘෂි ආර්ථික ක්‍රියාකාරකම් ත්‍රිත්වය පිළිවෙලින් සියයට 7.1ක්, සියයට 11.9ක් සහ සියයට 0.5ක් වශයෙන් පසුබැසීම් වාර්තා කර ඇත.

    දළ දේශීය නිෂ්පාදිතයෙන් හතරෙන් එකක පමණ දායකත්වයක් උසුලන කර්මාන්ත ආර්ථික කටයුතු සමස්තයක් වශයෙන් 2018 වර්ෂයේ දෙවන කාර්තුවේ දී  සියයට 2.3 වර්ධනයක් වාර්තා කර ඇත. එහිදී “නිමැවුම් කර්මාන්ත කටයුතු” වාර්තා කර ඇති සියයට 3.2 ක වර්ධනය සදහා “ආහාර පාන සහ දුම්කොළ නිෂ්පාදන”, “රෙදිපිළි, නිමි ඇදුම්, සම්භාණ්ඩ සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන”, “පිරිපහදු කළ ඛණිජ තෙල් නිෂ්පාදන”, සහ“මුලික ලෝහ සහ ව්‍යුවහාත්මක ලෝහ නිෂ්පාදන” සහ “ගෘහ භාණ්ඩ නිෂ්පාදන” පිළිවෙලින් සියයට 5.2ක්, සියයට 1.9ක්, සියයට 22.4ක්, සියයට 6.3ක් සහ සියයට 5.9ක් වශයෙන් ධන වර්ධන වේගයන් වාර්තා කරමින් දායක වී ඇත. දළ දේශීය නිෂ්පාදිතය සඳහා සැලකියයුතු දායකත්වයක් සපයන “ඉදිකිරීම් කර්මාන්තය” මෙම කාර්තුවේ දී සියයට 1.4ක වර්ධනයක් වාර්තා කර ඇත. තවද 2018 දෙවන කාර්තුවේදී “විදුලිය, ගෑස්,වාෂ්ප සහ වායු සැකසුම් සැපයුම ” සියයට 2.3 ක වර්ධනයක් වාර්තා කර ඇත.

    දළ දේශීය නිෂ්පාදිතයෙන් පහෙන් තුනක දායකත්වයක් උසුලන සේවා ආර්ථික කටයුතු පෙර වර්ෂයේ දෙවන කාර්තුවට සාපේක්ෂව 2018 වර්ෂයේ දෙවන කාර්තුවේ දී සියයට 4.8 ක ධන වර්ධනයක් වාර්තා කර ඇත. එහිදී “තොග හා සිල්ලර වෙළඳාම් කටයුතු”, “ආහාර හා නවාතැන් පහසුකම් සැපයීම”, “විදුලි සංදේශ සේවා”, “තොරතුරු තාක්ෂණ සේවා”, “මුල්‍ය හා මුල්‍ය අතරමැදි සේවා”, “රක්ෂණ සේවා” , “දේපොළ වෙළදාම් සේවා හා නිවාස අයිතිය ” සහ “අනෙකුත් පෙද්ගලික සේවා” පිළිවෙලින් සියයට 4.9ක් , සියයට 6.4ක් , සියයට 14.4ක්, සියයට 9.0ක්, සියයට 12.0ක්, සියයට 11.0ක්, සියයට 3.7ක් සහ සියයට 4.8ක් වශයෙන් සැලකිය යුතු වර්ධන වේගයන් වාර්තා කර ඇත. තවද 2017 දෙවන කාර්තුවට සාපේක්ෂව 2018 වසරේ දෙවන කාර්තුවේදී “ගුවන්විදුලි හා රූපවාහිනී විකාශනය” සියයට 15.5 ක පසුබෑමක් වාර්තා කර ඇත.