2018 දෙසැම්බර් මාසයේ උද්ධමනය 0.4% ක් දක්වා පහළට

    January, 22, 2019

    ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2018 නොවැම්බර් මාසයේ සියයට 1.0 හි සිට 2018 දෙසැම්බර් මාසයේ දී සියයට 0.4 දක්වා පහළ ගියේය. 2018 දෙසැම්බර් මාසයේ දී ලක්ෂ්‍යමය උද්ධමනයෙහි දක්නට ලැබුණු පහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩයන්හි අයිතමවල මිල ගණන් පහළ යෑම හේතු විය. ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2018 නොවැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට -3.9 හි සිට 2018 දෙසැම්බර් මාසයේ දී සියයට -4.5 දක්වා පහළ ගිය අතර ආහාර නොවන කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය ද 2018 නොවැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 5.2 හි සිට 2018 දෙසැම්බර් මාසයේ දී සියයට 4.7 දක්වා පහළ ගියේය.

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි දර්ශකයෙහි වෙනස, 2018 නොවැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 2.7 සිට 2018 දෙසැම්බර් මාසයේ දී සියයට 2.1 දක්වා පහළ ගියේය.

    2018 දෙසැම්බර් මාසයේ දී ජා.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස්වීම සියයට -0.5 ක් විය. ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිලගණන් පහළ යෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වූ අතර, ප්‍රවාහන (පෙට්‍රල්, ඩීසල් සහ බස් ගාස්තු) උපකාණ්ඩය වැඩිම පහළ යෑම වාර්තා කළේය. තවද, මාසය තුළ දී සන්නිවේදන; සහ මද්‍යසාර පාන වර්ග සහ දුම්කොළ උපකාණ්ඩයන්හි අයිතමවල මිලගණන් ද පහළ යෑමක් වාර්තා කළේය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි අයිතමවල මිලගණන් පහළ ගිය අතර එළවළු, දෙහි, ලොකු ලූණු, කෙසෙල් සහ පොල් ඒ අතර ප්‍රමුඛ විය.

    ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරූපණය කරන ජා.පා.මි දර්ශකයෙහි මූලික උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2018 දෙසැම්බර් මාසයේ දී සියයට 3.1 හි නොවෙනස්ව පැවතුණි. මේ අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය ද 2018 දෙසැම්බර් මාසයේ දී සියයට 2.4 හි නොවෙනස්ව පැවතුණි.