2018 පසු ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් නිධි රැසක් ?

    May, 20, 2015

    ගොඩබිම සිට කිලෝ මීටර් 800 ක් දක්වා දුරකට විහිදෙන මුහුදු සීමාවක් 2018 වසරේදී ලංකාවට අයත්වීමට නියමිත බවත් එම මුහුදු ප්‍රදේශයේ ඛනිජ තෙල් සහ ගෑස් සම්පත තිබෙන බවට විශ්වාස කරන බවත් සමුද්‍ර කටයුතු ලේකම් කාර්යාලයේ (National Ocean Affairs Committee) සභාපති, ක්‍රිස් තිලක ශ්‍රී ධර්මකීර්ති මහතා සඳහන් කරයි.

    අප සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකාවට මේ වනවිට අයත් වන්නේ කිලෝ මීටර් 200 ක් දක්වා දුරක් විහිදෙන මුහුදු ප්‍රදේශයක් බවයි.

    “අපට අයත් විය යුතු මුහුදු සීමාව මැන අපි ඒ පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයට පසුගිය කාලයේදී භාර දුන්නා. අපගේ එක් නිළධාරියෙකුගේ කුහක කමක් නිසා මෙම තොරතුරු භාරදීම ප්‍රමාදවීම හේතුවෙන් ලංකාවට මෙම නව මුහුදු කළාපය අයත්වීම 2028 දක්වා කල්ගියා. කලට වෙලාවට භාරදුන්න නම් අපිට මෙම මුහුදු කළාපය 2012 වසර වනවිට අයිතිකර ගන්න පුළුවන්කම තිබුණා.“

    “කොහොම වුණත් අපි එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සාකච්ඡා කර මෙය 2018 දක්වා අඩුකර ගැනීමට සමත්වුණා. මේ නිසා, කිලෝ මීටර් 800 ක් දක්වා මුහුදු ප්‍රදේශයට ලංකාවට 2018 වසරේදී අයිති වෙනවා.“

    ධර්මකීර්ති මහතා සඳහන් කළේ කිලෝ මීටර් 200 ක් දක්වා මත්ස්‍ය සම්පත ඇතුළුව පෙනෙන නොපෙනන සම්පත් සියල්ල ලංකාවට අයත් වුවත් අළුතින් ලැබෙන කිලෝ මීටර් 200 ක සිට 800 ක් දක්වා මුහුදු කළාපයේ නොපෙනෙන සම්පත් පමණක් ලංකාවට අයත් වනු ඇති බවයි.

    “මෙම නව මුහුදු කළාපයේ මත්ස්‍ය සම්පත අපට අයත් නෑ. නමුත්, මෙහි ගෑස් හෝ ඛනිජ තෙල් තිබෙනවා නම් ඒවා අපට ලබාගත හැකියි. අපි විශ්වාස කරනවා මෙම කළාපයේ ගෑස් සහ ඛනිජ තෙල් තිබෙන්න පුළුවන් කියා.“

    යනුවෙන් ධර්මකීර්ති මහතා සඳහන් කළේය.

    ලෝක වෙළඳ පොළේ ඛනිජ තෙල් මිල ඩොලර් 100 කට වඩා ඉහළ ගියහොත් මෙවැනි ගැඹුරු මුහුදේ තිබෙන ඛනිජ සම්පත් ලබාගැනීම ව්‍යාපාරික වශයෙන් ඵලදායී බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

    මේ වනවිට, ලෝක වෙළඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 65 ක් පමණ වේ. කෙසේවෙතත්, ඛනිජ තෙල් සැලකෙන්නේ වේගයෙන් සිඳීයන සම්පතක් ලෙසයි.