2018 වසර අවසන් වන විට ඊ-හෙල්ත් කාඩ් පත මිලියන 20 කට

    March, 11, 2018

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ මෑත කාලීන සෞඛ්‍ය සංවර්ධන ක්‍රියාවලියට මුලපිරීම පිළිබද ජාතික සමුලුව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගියදා පැවැත්විනි.

    සෑම වසරක දීම සෞඛ්‍ය අමාත්‍යාංශය විවිධාකාර ව්‍යාපෘති සදහා රුපියල් බිලියන 100 ක පමණ මුදලක් වැය කරන අතර, එම ව්‍යාපෘතිවල තොරතුරු ජනතාවට නිවැරදි ආකාරයෙන් නොලැබීම පිළිබදව අවධානය යොමු කරමින් මෙම සමුලුව පැවැත්විනි.

    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “දිවයිනේ සෑම ප්‍රදේශයකම සෞඛ්‍ය සෞඛ්‍ය සේවාවන් නංවාලීම සදහා විශේෂ වැඩපිළිවෙළක් දියත් කර තිබෙනවා. ප්‍රමාණාත්මක සහ ගුණාත්මක සේවාවක් ඇති කිරීම එහි ප්‍රධාන අරමුණයි. නොමිලේ අක්ෂි කාච, ස්ටෙන්ස් ලබාදීම තුලින් දුප්පත් රෝගීන්ට විශාල සහනයක් ලබාදුන්නා. සෞඛ්‍ය සේවාව තුල මෙතෙක් ආරම්භ නොකළ බද්ධ කිරීම් පසුගිය වසර 03 තුල ආරම්භ කළා. ඇතැම් ශල්‍යකර්ම සහ බද්ධ කිරීම් ආරම්භ කර සිදු කරන විට එය කඩාකප්පල් කිරීමට උත්සාහ දැරූ අයත් සෞඛ්‍ය සේවාව තුල ඉන්නවා. අක්මා බද්ධ කිරීම ආරම්භ කිරීමේ දී මතු වූ ගැටලු හොදම උදාහරණයයි. මෙතෙක් සෞඛ්‍ය සේවාව තුල ආරම්භ නොකළ ප්‍රතිකාර සේවා ක්‍රම ආරම්භ කළ යුතුයි. මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා දරුවන් සදහා ඇටමිදුලු බද්ධ කිරීම සාර්ථකව සිදු වෙනවා. මේ වනවිට දරුවන් 50 ක් පමණ එමගින් බේරා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. තැලසීමියා රෝගීන් සදහා ඇටමිදුලු බද්ධ කිරීම ලබන වසරේ ජනවාරි මාසයේ දී ආරම්භ කිරීමටයි සැළසුම් කර ඇත්තේ.”

    “නීති රීති ලිපි ලේඛණ පිළිබද කථා නොකර ප්‍රායෝගික තීන්දු තීරණ ගත යුතුයි. මිනිස් ජීවිත 10 ක් මැරිලා ගන්න තීන්දුවට වඩා ඊට පෙර ගන්නා තීන්දුව ඉතා වැදගත් වෙනවා. තීන්දු තීරණ ගැනීමේ දී කිසිවෙකු අපහසුතාවයට පත්වනවා නම් එහි වගකීම බාරගැනීමට මම සුදානම්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් රාජකාරී කටයුතු සිදුවන්නේ ඉතාම මන්දගාමීවයි. අපි සෞඛ්‍ය සේවාවන් ඉටුකිරීමේ දී වේගවත් විය යුතුයි. එහෙත් සමහර නිලධාරීන් රාජකාරියක් ලෙස නොසලකා යුතුකමක් ලෙස සළකා වේගවත්ව රාජකාරී කටයුතු සිදු කරනු ලබනවා. 2018 වසර අවසන් වන විට ඊ-හෙල්ත් කාඩි පත මිලියන 20 ක් වූ ජනතාවට ලබාදීමටයි මම තීරණය කර ඇත්තේ. එමගින් කිසියම් රෝගියෙකුගේ සියලු තොරතුරු එහි සටහන්ව තිබෙනවා. තව ද බද්ධ කිරීම් සදහා අවශ්‍ය අවයව ගුවන් මගින් ප්‍රවාහනය කිරීමට අපි සාකච්ඡා කර තිබෙනවා. බද්ධ කිරීම් සදහා අවශ්‍ය අවයව කඩිනමින් රෝහල්වලට ගෙන ආ යුතුයි. ඒ සදහා ජනාධිපතිවරයා සමග ඒකාබද්ධව අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. තවද ඉදිරි කාලයේ දී ආපදා හෙළිකොප්ටර් යානා 08 ක් ජර්මනියෙන් ලබාගැනීමෙන් පසු අවයව ප්‍රවාහනය කිරීම ඉතා පහසු වෙනවා.1990 සුව සැරිය ගිලන් රථ සේවාව විධිමත් සේවාවක් බවට පත්ව තිබෙනවා. අනාගතයේ දී ගුවනින් සහ ගොඩබිමින් රෝගීන් ප්‍රවාහනය කිරීමත් සමග විධිමත් සෞඛ්‍ය සේවාවක් රෝගී ජනතාවට ලබාදිය හැකියි. ”

    මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම, සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන්, රෝහල් ප්‍රධානීන්, පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශවල නිලධාරින් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ