May, 22, 2019
ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ආහාර සහ ආහාර නො වන යන කාණ්ඩ දෙකෙහි ම අයිතමයන්හි මිල ගණන්වල සිදු වූ මාසික ඉහළ යෑම් හේතුවෙන්, 2019 මාර්තු මාසයේ පැවති සියයට 2.9 හි සිට 2019 අප්‍රේල් මාසයේ දී සියයට 3.6 දක්වා ඉහළ ගියේ ය. මේ අතර, 2019 අප්‍රේල් මාසයේ දී, ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය සියයට -1.2ක් වූ අතර ආහාර නො වන කාණ්ඩයේ උද්ධමනය අඛණ්ඩ ව සිව්වන මාසයටත් ඉහළ යමින් සියයට 7.5ක් ලෙස වාර්තා විය.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස, 2019 මාර්තු මාසයේ පැවති සියයට 1.7 හි සිට 2019 අප්‍රේල් මාසයේ දී සියයට 1.9 දක්වා ඉහළ ගියේ ය.
මාසික වෙනස් වීම සලකා බැලීමේ දී, ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම ආයිතමයින් හි මිලගණන්වල දක්නට ලැබුණු ඉහළ යෑම් හේතුවෙන්, 2019 අප්‍රේල් මාසයේ දී ජාතික පාරිභෝගික මිල දර්ශකය සියයට 0.7කින් ඉහළ ගියේය. ආහාර කාණ්ඩයෙහි එළවළු, කිරිපිටි, අර්තාපල්, මාළු, දෙහි සහ ලොකු ලූණු මිලගණන්වල සැලකිය යුතු ඉහළ යෑම් වාර්තා විය. මීට අමතරව, ආහාර නොවන කාණ්ඩයෙහි මද්‍යසාර පාන වර්ග සහ දුම්කොළ, පුවාහන, විවිධ භාණ්ඩ හා සේවා, සෞඛ්‍යය සහ රෙදිපිළි හා පාවහන් උපකාණ්ඩයන්හි අයිතමවල මිල ගණන් මෙම මාසය තුළ දී ඉහළ ගියේය.
ආර්ථිකයෙහි ටයිදැරි උද්ධමනය නිරූපණය කරන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි මූලික උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2019 මාර්තු මාසයේ දී වාර්තා වූ සියයට 5.8 හි සිට 2019 අප්‍රේල් මාසයේ දී සියයට 6.3ක් දක්වා ඉහළ ගියේය. මේ සඳහා ආහාර කාණ්ඩයෙහි ප්‍රධාන වශයෙන් කිරිපිටි සහ ආහාර නොවන කාණ්ඩයෙහි මද්‍යසාර පාන වර්ග සහ දුම්කොළ සහ විවිධ භාණ්ඩ හා සේවා උපකාණ්ඩයන්හි මිල ගණන් ඉහළ යෑම හේතුවිය. සාමාන්‍ය මූලික උද්ධමනය ද 2019 මාර්තු මාසයේ දී වාර්තා වූ සියයට 3.3 හි සිට 2019 අප්‍රේල් මාසයේ දී සියයට 3.7ක් දක්වා ඉහළ ගියේය.
Video Story