2019 දී මිලියන 3 ක සංචාරක ඉලක්කයක් – ජෝන්

    January, 14, 2019

    මෙම වසර තුළ දී මිලියන 3ක විදෙස් සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවට ඉලක්ක කරන බව සංචාරක හා වනජීවී අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි. අද (14) උදෑසන කොළඹ දී පැවති Wildlife Park Day Entry Digital Permit eService සේවාවන් දියත් කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සංචාරක හා වනජීවී අමාත්‍ය ජෝන් අමරතුංග මහතා මෙසේ කියා සිටියේය.

    “විදේශ විනිමය ඉපයීම සඳහා ශ්‍රී ලංකාව වැඩි වශයෙන් සංචාරක කර්මාන්තය හරහා යැපෙනවා. මේ වෙලාවේ අපි තමයි ශ්‍රී ලංකාවේ තෙවැනියට විශාල වශයෙන් විදේශ විනිමය උපයන්නා. අපේ ඉලක්කය මේ වසර අවසානයේ දී අංක 2 ට පැමිණීම.“

    “අවාසනාවන්ත විදියට පසුගිය වසරේ අවසාන මාස 3 දී දේශපාලන අර්බුදකාරීත්වයකට අපට මුහුණ දෙන්න වුණු නිසා අපිට අපේ ඉලක්කය කරා යන්න නොහැකි වුණා.“

    “කෙසේ වෙතත් මේ වසරේ දී අපේ අරමුණ සාර්ථක වේවි. මිලියන 3 ක සංචාරක ඉලක්කයක් සමඟින් 2019 වසර නිමා කරන්න අපි බලාපොරොත්තු වෙනවා.“