2019 දෙවන කාර්තුවේදී ආර්ථික අපේක්ෂාව මෙන්න

    October, 10, 2019

    ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2019 දෙවන කාර්තුව (අප්‍රේල්, මැයි සහ ජුනි)

     

    ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2019 අප්‍රේල්, මැයි සහ ජුනි මාස වලදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity- PEO) මගින් ඉදිරිපත් කෙරේ.

     

    රැකියාවේ තත්ත්වය සහ ව්‍යාපාරික දියුණුව -

     

    ඉදිරි මාස 12 සැලකිල්ලට ගත්කළ තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාව 2019 අප්‍රේල්, මැයි, ජුනි, මාස තුන අයත්වන කාර්තුව තුළදී පිට පිටම හතරවන කාර්තුවටත් පහළ ගොස් තිබීම කැපී පෙනේ.

     

    මෙම අපේක්ෂාව 2019 ජනවාරි, පෙබරවාරි, මාර්තු යන කාර්තුව තුළදීත් පහළ ගිය අතර 2018 හතරවන කාර්තුව තුළදීත් පහළ ගියේය. මීටපෙර, 2018 තුන්වන කාර්තුව තුළත් ඉදිරි මාස 12 සැලකිල්ලට ගත්කළ තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාව පහළ ගොස් තිබුණි.

     

    විශේෂයෙන්ම 2018 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ සිදුවූ අනපේක්ෂිත දේශපාලන පරිවර්තනය නිසා ඇතිවූ අස්ථාවර ස්වභාවය මෙම අපේක්ෂාව නොවැම්බර් මාසයේ සිට පහළ යෑමට හේතුවක් වන්නට පුළුවන් අතර මෙම කාලයේදී විදේශ විනිමයට සාපේක්ෂව රුපියල වේගයෙන් අවප්‍රමාණය වීම සිදුවිය. රට තුළ දේශපාලන අවිනිශ්චිත ස්වභාවයක් 2019 පළමු කාර්තුව තුළද දකින්නට ලැබුණු අතර එය 2019 දෙවන කාර්තුව දක්වාම අඛණ්ඩවම පැවතුණි.

     

    ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර තිබෙන්නේ මේ කාලය තුළදී ශ්‍රී ලංකාවේ මූර්ත ආර්ථික වර්ධනය අඩු මට්ටමක තිබූ බවයි. විශේෂයෙන්ම 2019 දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකාවට එල්ලවූ පාස්කු බෝම්බ ප්‍රහාරය නිසා මෙරට සංචාරක කර්මාන්තය දැවැන්ත ලෙස කඩා වැටුණු අතර එය සමස්ත ආර්ථිකයම පසුබෑමකට ලක් කිරීමට හේතුවක් විය.

    පාස්කු ප්‍රහාරය හේතුවෙන් සංචාරක කර්මාන්තයේ විශාල රැකියා ප්‍රමාණයක් අහිමිවී ගිය අතර අනාගත රැකියා අපේක්ෂාවද දැවැන්ත ලෙස පහළ ගියේය. සංචාරක කර්මාන්තය හදිසියේ දැවැන්ත ලෙස කඩා වැටීම නිසා සංචාරක අංශයට ආහාර පාන, වාහන ඇතුළු අනිකුත් පරිවාර සේවා සැපයූ අංශද කඩා වැටීමකට භාජනය විය.

     

    ඉදිරි මාස 12 සැලකිල්ලට ගත්කළ තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාව 2019 දෙවන කාර්තුව තුළදී (අප්‍රේල්, මැයි, ජුනි) පහළ ගිය ආකාරය පහත ප්‍රස්ථාරය මගින් පැහැදිලි වේ.

    ඉතිරි කිරීමට තිබෙන හැකියාව

    කෙසේවෙතත්, ඉදිරි මාස 12 ඇතුළත උපයන මුදලින් යම් කිසි ප්‍රමාණයක් ඉතිරි කිරීමට තිබෙන හැකියාව පිළිබඳව තිබෙන අපේක්ෂාව 2019 දෙවන කාර්තුව (අප්‍රේල්, මැයි, ජුනි) තුළදී 2019 පළමු කාර්තුවට සාපේක්ෂව ඉහළ ගොස් තිබේ.  (02 වන ප්‍රස්ථාරය බලන්න)

     

    දූෂණය අඩුවන බලාපොරොත්තු

    2018 හතරවන කාර්තුවේදී පහළ ගිය මෙරට දූෂණය අඩුවන බලාපොරොත්තුව 2019 පළමුවන කාර්තුව (ජනවාරි, පෙබරවාරි, මාර්තු)  තුළදී යළිත් ඉහළ ගිය අතර එය 2019 දෙවන කාර්තුව (අප්‍රේල්, මැයි, ජුනි) තුළත් අඛණ්ඩවම වර්ධනය වුණි.

     

    ආර්ථික අපේක්ෂාව, ආර්ථික නිදහස උදෙසා ශ්‍රී ලංකා පදනම (Foundation for Economic Freedom in Sri Lanka) විසින් සංවර්ධනය කර මැණීම් කටයුතු සිදුකරන අතර දිවයිනම ආවරණය වන පරිදි ක්ෂේත්‍ර සමීක්ෂණ සිදුකරනු ලබන්නේ PepperCube Consultants සමීක්ෂණ ආයතනය විසිනි.

     

     

    (Friedrich Naumann Stiftung Fur Die Freiheit සමග සම්බන්ධ වෙමින් ආර්ථික අපේක්ෂාව, ආර්ථික නිදහස උදෙසා ශ්‍රී ලංකා පදනම (Foundation for Economic Freedom in Sri Lanka) විසින් සංවර්ධනය කර මැණීම් කටයුතු සිදුකරයි)