2019 පළමු කාර්තුවේදී කොමර්ෂල් බැංකුවේ තැන්පතු රුපියල් ටි‍්‍රලියනයේ සීමාව පසු කරයි

    May, 17, 2019

    කොමර්ෂල් බැංකුව සහ එයට අනුබද්ධ ආයතන ඇතුළත් වන කොමර්ෂල් බැංකු සමූහයේ දළ ආදායම 2019 මාර්තු මාසයෙන් අවසන් වන මාස තුනක කාලය තුළදී රුපියල් බිලියන 35.501 ක්වී තිබෙන අතර එය 2018 පළමු කාර්තුවේ ආදායමට සාපේක්ෂව 12.86% ක වර්ධනයකි.

    හානි පූර්ණය කිරීම සඳහා කරන වෙන්කිරීම් වලට පෙර මෙම කාර්තුවේදී මෙහෙයුම් ලාභය 2018 වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී 4.86% කින් වර්ධනය වී ඇත. කෙසේවෙතත්, මූල්‍ය සේවාවල බදු වලට පෙර මෙහෙයුම් ලාභය අදාළ කාර්තුව තුළදී රුපියල් බිලියන 6.804 ක් වෙමින් 5.11% ක සෘණාත්මක වර්ධනයක් ලබාගෙන තිබෙන අතර මේ සඳහා ප‍්‍රධාන වශයෙන්ම හේතුවී තිබෙන්නේ අක‍්‍රීය ණය වැඩිවීම නිසා හානි පූරණය සඳහා වෙන්කළ යුතු මුදල් ප‍්‍රමාණය වැඩිවීම සහ ශ‍්‍රී ලංකා නව ගණකාධිකරණ ප‍්‍රමිති 9 (SLFRS 9) අනුව වෙන්කළ යුතු හානි පූර්ණ ගාස්තු ප‍්‍රමාණය වර්ධනය වීම යැයි බැංකුව සඳහන් කර ඇත.

    මේ ආකාරයෙන් හානි පූරණය කිරීම සඳහා වෙන්කළ යුතු මුදල් ප‍්‍රමාණය වර්ධනය වීමට ආර්ථිකයේ ප‍්‍රධාන අංශ කිහිපයක්ම මන්දගාමීවීම, විදේශ විනිමය මගින් ලැබූ පරිවර්තන අලාභය හමුවේ විනිමය ලාභ අඩුවීම සහ සලකා බලන මාස තුනක කාලය තුළදී බදු ගෙවීම් සැලකිය යුතු ලෙස වර්ධනය වීම සමූහයේ ලාභ වලට බලපා ඇත.

    මෙම බාහිර සාධකවල බලපෑම පෙන්නුම් කරමින් 2019 මුල් කාර්තුව තුළදී කොමර්ෂල් බැංකු සමූහයේ ආදායම් බදු වලට පෙර ලාභය රුපියල් බිලියන 5.019 ක්වූ අතර ආදායම් බදු වලට පසු ලාභය රුපියල් බිලියන 3.191 ක්වී තිබේ.

    මූල්‍ය සේවා මත බදු වැඩිවීම සඳහා 2018 ඔක්තෝම්බර් 01 වනදා සිට හඳුන්වා දුන් ණය නැවත ගෙවීමේ බද්ද (DRL) ප‍්‍රධාන වශයෙන් හේතුවී තිබෙන අතර මෙම බද්ද ලෙස බැංකුව මෙම කාර්තුවේදී රුපියල් මිලියන 576.450 ක් ගෙවා තිබේ. මේ හේතුවෙන් 2019 මුල් කාර්තුව තුළදී බැංකු සමූහයේ බදු වලට පෙර ලාභය 14.86% කින් අඩුවී තිබෙන අතර බැංකුවේ බදු වලට පෙර ලාභය 19.08% කින් රුපියල් බිලියන 4.774 ක් දක්වා අඩුවී ඇත.

    එසේම, බැංකු කර්මාන්තය විසින් භුක්ති විඳි බදු සහනයක් බොහෝ ප‍්‍රමාණයක් අඩුකරමින් 2018 වසරේදී රජය හඳුන්වා දුන් නව බදු ක‍්‍රමයන් හේතුවෙන් සලකා බලන මාස තුනක කාලය තුළදී බැංකු සමූහයේ ආදායම් බදු  ගෙවීම කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇත. මෙම මාස තුන තුළදී සමූහය විසින් රුපියල් බිලියන 1.828 ක ආදායම් බදු ප‍්‍රමාණයක් ගෙවා තිබෙන අතර මෙය 36.42% ක සඵල බදු අනුපාතයක් (effective tax) වන අතර මෙම අනුපාතය 2018 මුල් කාර්තුවේදී තිබුණේ 29.79% ක් ලෙසයි.  මෙම සාධක හේතුවෙන් මෙම කාර්තුව තුළදී මූල්‍ය සේවා මත බදු සහ ආදායම් බදු මෙහෙයුම් ආදායමෙන් 53.13% ක්වී තිබේ. මේ අතරම, අදාළ කාර්තුව තුළදී සමූහයේ බදු වලට පසු ලාභය 22.90% කින් අඩුවී රුපියල් බිලියන 3.191 ක්වී තිබෙන අතර බැංකුවේ බදු වලට පසු ලාභය 27.23% කින් අඩුවී රුපියල් බිලියන 3.023 ක්වී ඇත.

    බැංකුවේ කාර්ය සාධනය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ සභාපති, ධර්ම ධීරසිංහ මහතා පැවසුවේ බලාපොරොත්තු වූ පරිදිම රුපියල් ටි‍්‍රලියන 01 ක තැන්පතු සීමාවට ළඟාවෙමින් කොමර්ෂල් බැංකුව තමන්ගේ වටිනා ගනුදෙනුකරුවන් තුළ තිබෙන විශ්වාසය තවත් ශක්තිමත් කිරීමට සමත්වූ බව සතුටින් සඳහන් කරන බවයි. ‘කෙසේවෙතත්, විශේෂයෙන්ම අභියෝගාත්මක බාහිර තත්ත්වයන්ට බැංකු ක්‍ෂේත‍්‍රය මුහුණ දෙමින් සිටින විට බැංකු මත පනවා තිබෙන බදු අනුපාතය වැඩිවීම ප‍්‍රශ්නයක් ලෙස තිබෙනවා. මෙරට ආර්ථිකයේ වැදගත් බැංකුවක් සහ වගකීම් සහගත කොටස්කරුවෙකු ලෙස මෙරට ආර්ථිකයේ ප‍්‍රධාන අංශයන් සඳහා ලාබදෙන දායකත්වය තවදුරටත් පුළුල් කිරීමට අපගේ ධාරිතාවය වැඩි කළ යුතුයි. අපි ගෙවන බදු ප‍්‍රමාණය මෙම දායකත්වයේ එක් අංගයක් වන නමුත් විශේෂයෙන්ම සුළු හා මධ්‍යම ව්‍යාපාර අංශය සහ අනෙකුත් අංශ පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වෙනවා,’ යනුවෙන් ඔහු පැවසීය.

    කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, එස්. රෙන්ගනාදන් මහතා සඳහන් කළේ පැවති අභියෝගාත්මක පරිසරය හමුවේ ණය කළඔ පුළුල් කිරීමේදී ඉතාමත් සැලකිල්ලක් දැක්වූ බවත් මේ හේතුවෙන් 2018 දෙසැම්බර් 31 වනදා සිට බලනවිට ණය පොතේ ආන්තික අඩුවීමක් පෙනෙන්නට තිබෙන බවයි. ශුද්ධ පොලී ආදායම අඩුවීම සහ සමූහයේ බදු වලට පසු ලාභය පහළ යාම මේ තත්ත්වයට හේතුවූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ‘අත්තිකාරම් අඩුවුවත් මේ කාලයේදී බැංකුව සුළු හා මධ්‍යම පරිමාණ අංශයට අඛණ්ඩව සහයෝගය ලබාදුන් බව මා සතුටින් සඳහන් කරනවා. මේ නිසා, මෙම කාර්තුවේදී මෙම අංශයේ සතුටුදායක වර්ධනයක් සිදුවී තිබෙනවා,’ යනුවෙන් රෙන්ගනාදන් මහතා පැවසීය.

    සලකා බලන කාර්තුව තුළදී බැංකු සමූහයේ පොලි ආදායම 13.87% කින් වර්ධනය වී රුපියල් බිලියන 31.977 ක්වී තිබෙන අතර පොලී වියදම 16.07% කින් වර්ධනය වී රුපියල් බිලියන 19.857 ක්වී තිබේ. මේ ආකාරයෙන් පොලී වියදම වර්ධනය වීමට හේතුවී තිබෙන්නේ තැන්පතු වර්ධනයවීම සහ වැඩි පොලී තැන්පතු වෙත අඛණ්ඩව යොමුවීමයි. මේ හේතුවෙන් සලකා බලන කාර්තුව තුළදී ශුද්ධ පොලී ආදායම 10.44 ක අඩු ප‍්‍රතිශතයකින් වර්ධනය වෙමින් රුපියල් බිලියන 12.120 ක්වී ඇත.

    එසේම, මෙම කාර්තුව තුළදී ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම රුපියල් බිලියන 2.448 ක්වී තිබෙන අතර මෙය 0.06% ක සුළු වර්ධනයකි. මේ අතර, වෙළඳාමෙන් ලැබූ ලාභය හෝ පාඩුව සහ මූල්‍ය වත්කම් වලින් ලැබූ ලාභය හෝ පාඩුව පිළිවෙලින් 204.19% ක් සහ 248.35% ක් ලෙස වර්ධනය වී තිබේ. කෙසේවෙතත්, විනිමය ලාභ සහ ආයෝජන ආදායම් ඇතුළත්වන අනිකුත් ශුද්ධ මෙහෙයුම් ආදායම රුපියල් මිලියන 298.811 ක ශුද්ධ පාඩුවක් වාර්තා කර තිබෙන අතර එයට හේතුවී තිබෙන්නේ සලකා බලන කාර්තුව තුළදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අධිප‍්‍රමාණය වීම නිසා විදේශ විනිමය තුළින් ලැබූ පරිවර්තන අලාභයයි. 2018 පළමු කාර්තුව තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප‍්‍රමාණයවීම නිසා විදේශ විනිමය මගින් ලාභයක් ලැබීමට බැංකුව සමත් විය.

    මේ අතර, සලකා බලන කාර්තුව තුළදී සමූහයේ ශුද්ධ මෙහෙයුම් ආදායම 3.54% කින් සුළු වශයෙන් රුපියල් බිලියන 13.222 ක් දක්වා ඉහළ ගිය අතර මෙහෙයුම් වියදම 14.64% කින් රුපියල් බිලියන 6.418 ක් දක්වා වර්ධනය වී තිබේ. මේ ආකාරයෙන් මෙහෙයුම් වියදම් වැඩිවීම සඳහා විශාල වශයෙන් බලපා තිබෙන්නේ කාර්ය මණ්ඩලයේ වැටුප් වැඩිකිරීම සහ බැංකු ශාඛාවල නඩත්තුව සඳහා කරන සාමාන්‍ය වියදම් වැඩිවීමයි.

    2019 මාර්තු 31 වනදා වනවිට සමූහයේ සමස්ත වත්කම් ප‍්‍රමාණය රුපියල් බිලියන 23.465 කින් හෙවත් 1.78% කින් රුපියල් ටි‍්‍රලියන 1.343 ක් දක්වා වර්ධනය වූ අතර එය පෙර වසරේ අදාළ කාලයට සාපේක්ෂව රුපියල් බිලියන 112.655 ක් හෙවත් 9.15% ක වර්ධනයකි.

    මේ අතර, 2018 වසරේ අවසානයේ සිට සමස්ත ණය සහ අත්තිකාරම් රුපියල් බිලියන 5.112 කින් හෙවත් 0.57% කින් සුළු වශයෙන් අඩුවී අදාළ කාර්තුව අවසන් වනවිට රුපියල් බිලියන 892.844 ක්වී ඇත. පෙර වසරට සාපේක්ෂව ණය පොත රුපියල් බිලියන 88.493 කින් හෙවත් 11% කින් වර්ධනය වී තිබේ.

    මෙම කාර්තුව තුළදී බැංකු සමූහයේ තැන්පතු රුපියල් බිලියන 31.214 කින් හෙවත් 3.14% කින් වර්ධනය වී තිබෙන අතර තැන්පතු ප‍්‍රමාණයේ වටිනාකම රුපියල් ටි‍්‍රලියන 1.026 ක්වී ඇත. එසේම, පෙර වසරට සාපේක්ෂව තැන්පතුවල වර්ධනය රුපියල් බිලියන 112.441 ක් හෙවත් 12.31% ක්වී තිබේ.

    අනිකුත් ප‍්‍රධාන මූල්‍ය දර්ශක සලකා බැලීමේදී 2019 පළමු කාර්තුව අවසන් වනවිට බැංකුවේ කොටසකට අදාළ ශුද්ධ වත්කම් වටිනාකම කොටස් කරුවන්ගේ අරමුදල් වැඩිවීම හේතුවෙන් රුපියල් 116.04 ක්වී තිබෙන අතර මෙය 2018 වසර අවසන් වනවිට රුපියල් 117.15 ක් විය. මේ අතර, සලකා බලන කාර්තුව තුළදී බදු වලට පෙර වත්කම්වල ප‍්‍රතිලාභ අනුපාතය සහ කොටස්වල ප‍්‍රතිලාභ අනුපාතය පිළිවෙලින් 1.48% ක් සහ 10.32% ක්වී තිබෙන අතර 2018 වසරේ අදාළ කාලයේදී මෙම අනුපාත තිබුණේ 2.09% ක් සහ 15.56% ක් ලෙසයි.

    සලකා බලන කාල සීමාවේදී බැංකුවේ පොලී අන්තරය 3.67% සිට 3.68% ක් දක්වා සුළු වශයෙන් වර්ධනය වී තිබේ.

    එසේම, 2019 මාර්තු 31 වනදා වනවිට බැංකුවේ දළ අක‍්‍රීය ණය අනුපාතය 2018 දෙසැම්බර් අවසානයේ සිට 3.24% ක සිට 4.14% ක් දක්වා වර්ධනය වී තිබෙන අතර අදාළ කාල සීමාව තුළදී බැංකුවේ ශුද්ධ අක‍්‍රීය ණය අනුපාතය 1.71% ක සිට 2.47% ක් දක්වා වර්ධනය වී ඇත.

    ප‍්‍රාග්ධන ප‍්‍රමාණත්ව අනුපාතයන් සැලකීමේදී බැංකුවේ සමස්ත පළමුපෙළ ප‍්‍රාග්ධන අනුපාතය (ප‍්‍රාග්ධන ආරක්ෂාවන් සමග& 2019 මාර්තු 31 වනදා වනවිට 11.353% ක මට්ටමක තිබූ අතර එය 2019 ජනවාරි 01 වනදා සිට ක‍්‍රියාත්මක කළ නව බාසල් III අවම අවශ්‍යතාවය වන 10% ක මට්ටමට වඩා ඉහළ අගයකි. මේ අතර, 2019 පළමු කාර්තුව අවසන් වනවිට පැවති සමස්ත ප‍්‍රාග්ධන අනුපාතය වන 15.184% ක මට්ටම බාසල් III අවශ්‍යතාවය වන 14% ක මට්ටම ඉක්මවා තිබීමද කැපී පෙනේ.

    කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම අට වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මෙරට තුළ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 830 ක් සහ බැංකු ශාඛා 266 ක් පවත්වාගෙන යයි. 2016 සහ 2017 යන වසර වලදී ප‍්‍රමුඛතම ජාත්‍යන්තර සහ දේශීය සම්මාන රැසක් දිනාගැනීමට සමත්ව තිබෙන කොමර්ෂල් බැංකුව 2018 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 40 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

    කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවක් ආරම්භ කරන ලදී.