2020 අගෝස්තු මාසයේ දී Face Masks, PPE, පොල් අපනයන ආදායම ඉහළට

    October, 12, 2020

    වර්තමාන ගෝලීය වෙළෙඳපොළ තත්ත්වයන්ට සාපේක්ෂව සැලකීමේ දී අපනයන ක්‍රියාකාරීත්වය ශක්තිමත් ලෙස පැවතුණ ද, 2020 වසරේ අගෝස්තු මාසයේ දී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පෙර වසරේ අනුරූප මාසයට මෙන්ම පසුගිය මාසයට සාපේක්ෂව ද පහත වැටුණි. ඒ අනුව, වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම 2019 වසරේ අගෝස්තු මාසයේ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 1,033ට සහ 2020 වසරේ ජූලි මාසයේ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 1,085ට සාපේක්ෂව 2020 වසරේ අගෝස්තු මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 947ක් දක්වා පහත වැටුණි. පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව අපනයන ආදායම අඩුවීම සඳහා කෘෂිකාර්මික, කාර්මික සහ ඛනිජ අපනයන යන ප්‍රධාන කාණ්ඩ සියල්ලෙහි අපනයන ආදායම පහත වැටීම හේතුවිය.

    ප්‍රධාන වශයෙන් රෙදිපිළි හා ඇඟලුම්, ඛනිජ තෙල් නිෂ්පාදිත, මැණික්, දියමන්ති හා ස්වර්ණාභරණ, සම් භාණ්ඩ, සංචාරක භාණ්ඩ හා පාවහන් සහ ලෝහ හා උපාංග අපනයන අඩුවීම හේතුවෙන් 2020 වසරේ අගෝස්තු මාසයේ දී කාර්මික අපනයන ආදායම පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 10.2කින් පහත වැටුණි. ප්‍රධාන වශයෙන් ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා වෙළෙඳපොළ වෙත ඇඟලුම් අපනයනය කිරීම පහත වැටීම හේතුවෙන් 2020 වසරේ අගෝස්තු මාසයේ දී රෙදිපිළි හා ඇඟලුම් ආපනයන ආදායම සියයට 11.9කින් පහත වැටුණි.

    කෙසේ වෙතත්, වෙනත් නිම කළ රෙදිපිළි ද්‍රව්‍ය යටතේ වර්ග කර ඇති මුහුණු ආවරණ (face masks), ආරක්ෂක ඇඳුම් වැනි පෞද්ගලික සනීපාරක්ෂක උපකරණ (personal protective equipment - PPE) අපනයන ආදායම කැපී පෙනෙන ලෙස ඉහළ ගියේය.

    නැව් සඳහා යොදාගනු ලබන ඉන්ධන අපනයන පරිමාව හා මිල ගණන් පහත වැටීම හේතුවෙන් ඛනිජ තෙල් නිෂ්පාදිත අපනයන ආදායම පහත වැටුණි. මේ අතර ශල්‍ය හා වෙනත් අත්වැසුම් අපනයනය ඉහළ ගිය ද, ටයර් අපනයනය පහත වැටීම හේතුවෙන් රබර් නිෂ්පාදිත අපනයන ආදායම පහත වැටුණි. මීට ප්‍රතිවිරුද්ධව, ප්ලාස්ටික් හා ඒ ආශ්‍රිත නිෂ්පාදිත (ප්‍රධාන වශයෙන් ප්ලාස්ටික් ඇඳුම් උපාංග) සහ ආහාර, පාන වර්ග හා දුම්කොළ (ප්‍රධාන වශයෙන් දියර පොල්කිරි, පොල් ක්‍රීම් සහ පිටි කළ පොල් කිරි වැනි එකතු කළ අගයක් සහිත පොල් නිෂ්පාදිත) උප කාණ්ඩවල අපනයන ආදායම 2020 වසරේ අගෝස්තු මාසයේ දී ඉහළ ගියේය.

    පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව කෘෂිකාර්මික අපනය  ආදායම සුළු වශයෙන් පහත වැටුණි. කෘෂිකාර්මික අපනයන ආදායම පහත වැටීම සඳහා තේ අපනයනය සියයට 13.3කින් සැලකිය යුතු ලෙස පහත වැටීම ප්‍රධාන වශයෙන් හේතු වූ අතර, ඊට අමතරව මුහුදු ආහාර සහ රබර් අපනයන පහත වැටීම ද හේතුවිය. 2019 වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව තේ අපනයන මිල ගණන් ඉහළ ගිය ද, අපනයන පරිමාව අඩුවීම හේතුවෙන් තේ අපනයන ආදායම පහත වැටුණි.

    මෙම උපකාණ්ඩ තුනට අමතරව කෘෂිකාර්මික අපනයන යටතේ වර්ග කර ඇති සියලුම උපකාණ්ඩවල අපනයන ආදායම ඉහළ ගියේය. 2019 වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව 2020 වසරේ අගෝස්තු මාසයේ දී කුරුඳු හා කරාබු නැටි අපනයන පරිමාව ඉහළ යෑම හේතුවෙන් කුළුබඩු අපනයන ආදායම ඉහළ ගියේය. පොල් මද ආශ්‍රිත නිෂ්පාදිත සහ පොල් මද ආශ්‍රිත නොවන නිෂ්පාදිත අපනයන ඉහළ යෑම හේතුවෙන් පොල් අපනයන ආදායම ඉහළ ගියේය. 2019 වසරේ සැප්තැම්බර් මාසයේ සිට දක්නට ලැබුණු පුවක් අපනයන ඉහළ යෑමේ ප්‍රවණතාවය අඛණ්ඩව පැවතීම හේතුවෙන් 2019 වසරේ අගොස්තු මාසයට සාපේක්ෂව 2020 වසරේ අගෝස්තු මාසයේ දී සුළු කෘෂිකාර්මික නිෂ්පාදිත අපනයන ආදායම ඉහළ ගියේය.

    පාෂාණ හා ගල් වර්ග අපනයනය ඉහළ ගියද, ප්‍රධාන වශයෙන් යපස්, යබොර හා අළු අපනයන ආදායම පහත වැටීම හේතුවෙන් පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව 2020 වසරේ අගෝස්තු ඛනිජ නිෂ්පාදිත අපනයන ආදායම පහත වැටුණි.

    2020 වසරේ අගෝස්තු මාසයේ දී පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව අපනයන පරිමා දර්ශකය සියයට 3.2කින් ඉහළ ගිය අතර, ඒකක මිල දර්ශකය සියයට 11.2කින් පහත වැටුණි. මෙමගින් පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව 2020 වසරේ අගෝස්තු මාසයේ දී අපනයන පහත වැටීම සඳහා සාමාන්‍යයක් වශයෙන් අපනයන මිල ගණන් පහත වැටීම හේතුවිය.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2020 අගෝස්තු මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්ව වාර්තාවෙහි මේ බව සඳහන් වේ.