2020 ඩිජිටල් ගනුදෙනු වර්ෂය ලෙසින් නම් කෙරේ

    February, 12, 2020

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකාව තුල 2020 වර්ෂය ඩිජිටල් ගනුදෙනු වර්ෂය ලෙස නම් කර ඇත. මෙම මෙහෙවරෙහි ප්‍රධාන අරමුණ වන්නේ බලපත්‍රලාභී වාණිජ බැංකු, අනෙකුත් මූල්‍ය ආයතන සහ ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම විසින් දැනටමත් හඳුන්වා දී ඇති ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද ජනප්‍රිය කරවීමය. ජංගම දුරකතන මගින් ගෙවීම් කටයුතු සිදු කිරීමේ ප්‍රවනතාවයක් ඇති කිරීම මෙහි ඇති වැදගත් සාධකයකි. තාක්ෂණික වශයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යාම සඳහා මෙම මෙහෙවර උපකාරී වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව විශ්වාස කරන අතර එම නිසා ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවෙහි ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව විසින් විවිධ පියවර ගෙන ඇත.

    එහි පළමු පියවර ලෙස, 2020 වර්ෂයේ පෙබරවාරි 11 වන දින, ශ්‍රී ලංකා බැංකු කාර්ය මණ්ඩලය සඳහා ගෙවීම් යෙදුම් පිළිබඳ දැනුම්වත් කිරීමේ සහ බඳවාගැනීමේ සැසියක් ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලදී. JustPay සහ QR Code වැනි ගෙවීම් ක්‍රමවේද භාවිතා කරන ජිගම ගෙවීම් යෙදුම් හරහා ගෙවීම් කටයුතු සඳහා පහසුකම් සලසන ආයතන ගණනාවක් මෙම අවස්ථාවට සහභාගී විය. ජංගම ගෙවීම් යෙදුම් මගින් විදුලි, ජල, දුරකතන ආසී බිල්පත් පියවීමට මෙන්ම විවිධ බැංකු ගිණුම් අතර මුදල් හුවමාරුවට බැංක කාර්ය මණ්ඩලය හුරුකිරීම අරමුණින් මෙම සැසිය පවත්වන ලදී.