2020 දී රබර් කර්මාන්තයෙන් ඩොලර් බිලියන 03ක ආදායමක්

    June, 15, 2018

    අපගේ කර්මාන්තකරුවන් නවීන තාක්ෂණයෙන් සවිමත් කර අගය එකතු කළ රබර් නිෂ්පාදන සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බවත්, ඒ සඳහා ඔවුන් ජාත්‍යන්තර ප්ලාස්ටික් හා රබර් නිෂ්පාදන ප්‍රදර්ශනය සඳහා යොමු කරන බවත්, ඔවුන්ට දක්වන රාජ්‍යමය අනුග්‍රහයක් වශයෙන් ගුවන් ටිකට්පත් සඳහා සියයට 50% ක වියදමක් අමාත්‍යාංශය දරණ බවත්, මේ මඟින් අපේක්ෂා කරන්නේ 2020 වන විට අපේ රබර් කර්මාන්ත ක්‍ෂේත්‍රයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 03 ක් හෙවත් රුපියල් බිලියන 480 ක ආදායමක් උපයීමට අපේක්ෂා කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා (ජුනි 12 දා) අමාත්‍යාංශයේ පැවති, මියන්මාරයේ පැවැත්වෙන ප්ලාස්ටික් හා රබර් ආශ්‍රිත කොම්ප්ලාස්ට් (COMPLAST) ප්‍රදර්ශනයට සහභාගී වන ව්‍යාපාරිකයන්ට ගුවන් ටිකට්පත් පිරිනැමීමේ උළෙලේදී ය.

    2018 ජුනි මස 15 සිට 17 දක්වා මියන්මාරයේ, රැංගුං නුවර පැවැත්වෙන, COMPLAST (කොම්ප්ලාස්ට්) කර්මාන්ත හා වෙළෙඳ ප්‍රදර්ශනයට සහභාගී වන මෙරට ප්‍රමුඛ පෙළේ ප්ලාස්ටික් හා රබර් නිෂ්පාදන කර්මාන්ත ආයතන 10 කට ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්වුණි.

    එහිදී ගුවන් ටිකට්පත් සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සියයට 50 ක (50%) මූල්‍යමය දායකත්වයක් ලබාදී තිබූ අතර එක් ආයතනයකින් දෙදෙනෙකු බැගින් වන පරිදි ප්ලාස්ටික් හා රබර් නිෂ්පාදන කර්මාන්ත ආයතන 10 කට ටිකට්පත් 20 ක් පිරිනමනු ලැබීය. මේ සඳහා අමාත්‍යාංශය වැය කරන ලද වියදම රුපියල් මිලියන 1.7 කි. (ලක්ෂ 17)

    මෙම ප්‍රදර්ශනය සඳහා ලෝකයේ රටවල් ගණනාවක ප්‍රමුඛ පෙළේ ප්ලාස්ටික් හා රබර් නිෂ්පාදකයින් 200 කට අධික පිරිසක් සහභාගී වෙති. මෙහිදී අපගේ ප්ලාස්ටික් හා රබර් කර්මාන්තකරුවන්ට ඔවුන් සමඟ අත්දැකීම්, දැනුම හුවමාරු කර ගත හැකි වන අතර, නව අපනයන අවසථාවන් මෙන්ම ආයෝජන අවස්ථාවන්ද, හවුල් ව්‍යාපාර ඇති කර ගැනීමට ද, මෙම ප්‍රදර්ශනය පිටුවහලක් වේ. එසේම ඔවුන් ලබන දැනුම හා අත්දැකීම් යළිත් ශ්‍රී ලංකාවට පැමිණි පසුව අනෙකුත් කර්මාන්තකරුවන් සමඟ හුවමාරු කර ගත යුතු බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේද පැවසීය.

    "ප්ලාස්ටික් හා රබර් කර්මාන්ත ප්‍රදර්ශනයට සහභාගී වන අපගේ කර්මාන්තකරුවන්ට මගේ ශුභ පැතුම් පිරිනමනවා. ඔබ සැමදෙනාම රබර් කර්මාන්තය තුළ අගය එකතු කරමින් වඩා ගුණාත්මක නිෂ්පාදන වෙළෙඳපොළට නව නිර්මාණකරණයෙන් යුතුව ඉදිරිපත් කරන පිරිසක්. ඔබ මේ ප්‍රදර්ශනයට සහභාගී වීම තුළින් ලෝකයේ අනෙකුත් දියුණු රටවල්වල ප්ලාස්ටික් හා රබර් නිෂ්පාදනවල නවීන තාක්ෂණය ආශ්‍රිතව අදහස්, දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගත යුතුයි. එමඟින් ලෝකයේ නවීන තාක්ෂණික දැනුම ඔබගේ නිෂ්පාදන සඳහාත් එකතු කරගන්න. ඒ වගේම ප්ලාස්ටික් හා රබර් නිෂ්පාදන ආශ්‍රිතව ලෝක වෙළෙඳපොළ වඩ වඩාත් පුළුල් කර ගත යුතු වෙනවා.  එපමණක් නොවෙයි ඔබ ලෝකයේ ප්‍රකට ප්ලාස්ටික් හා රබර් නිෂ්පාදකයින් සමඟ එකතු වී අප රට තුළ නව හවුල් ව්‍යාපාර, ආයෝජනය කිරීම් වර්ධනය කර ගත යුතු වෙනවා. අපේ රජයේ සැලසුම වන්නේ 2020 වන විට අපගේ කර්මාන්ත ක්‍ෂේත්‍රය ඇමරිකානු ඩොලර් බිලියන 03 (රුපියල් බිලියන 480) ක කර්මාන්තයක් බවට පත් කර ගැනීමයි. 2016 දී අපි රබර් අපනයනයෙන් ඩොලර් මිලියන 768 (රුපියල් මිලියන 122,880) ක් ලැබුණා. එය 2017 වන විට ඩොලර් මිලියන 835 (රුපියල් මිලියන 133,600) ක් දක්වා සියයට 9% කින් වැඩි වුණා. ඒ වගේම සමස්ත රබර් අපනයනය අගය 2016 දී ඩොලර් මිලියන 33 (රුපියල් මිලියන 5,280) ක් වුණා. එය 2017 දී ඩොලර් මිලියන 39 (රුපියල් මිලියන 6,240) ක් දක්වා සියයට 18% කින් වර්ධනය වෙලා තියෙනවා." යැයි පැවසීය.

    මෙම අවස්ථාවට අමාත්‍යාංශ අතිරේක ලේකම් එස්.බාලසුබ්‍රමනියම්, ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනයේ උප සභාපති එන්.රාජපක්ෂ මහත්වරු ඇතුළු ප්ලාස්ටික් හා රබර් නිෂ්පාදන ආයතන හිමිකරුවන් පිරිසක් ද සහභාගී විය.