August, 21, 2020
2020 පළමු අර්ධයේදී කොමර්ෂල් බැංකු සමූහය ශක්තිමත් ආදායම් වර්ධනයක් වාර්තා කළ ද, ණය ඉල්ලූම අඩුවීම, කොවිඞ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ණයකරුවන්ට පොලී සහන ලබාදීම හේතුවෙන් පොලී අන්තරයට සිදුවූ පීඩනය, හානි පූරණ වෙන්කිරීම් වැඩිවීම සහ අතිරික්ත ද්‍රවශීලතාවයට අදාළ පහළ ආදායම් හමුවේ මිශ්‍ර ප්‍රතිඵල වාර්තා කිරීමට සිදුවිය.
ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව, එයට අනුබද්ධ සමාගම්ද ඇතුළත් වන කොමර්ෂල් බැංකු සමූහය විසින් 2020 පළමු මාස හය තුළදී 11.19% ක ශක්තිමත් වත්කම් වර්ධනයක් ලබාගනිමින් රුපියල් ටි්රලියන 1.5 ක වත්කම් සීමාව පසුකිරීමට සමත්වී තිබෙන අතර සලකා බලන කාලයේදී සමූහයේ දළ අදායම 2.15%කින් වර්ධනය වී රුපියල් බිලියන 75.167 ක්වී තිබේ.
කෙසේවෙතත්, 2020 ජුනි 30 වනදායින් අවසන් වන මාස හයක කාලය තුළදී පොලී ආදායම 5% කින් අඩුවී රුපියල් බිලියන 61.393 ක්වී තිබෙන අතර දෙවන කාර්තුව තනිව ගත්කළ පොලී ආදායම 11.05% කින් අඩුවී ඇත. කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ පීඩාවට පත් ගනුදෙනු කරුවන්ට ශ්‍රී ලංකා මහ බැංකුව ලබාදුන් පොලී සහන සහ බැංකුව විසින් ලබාදුන් පොලී සහන මෙලෙස පොලී ආදායම අඩුවීමට හේතුවී තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස සලකා බලන කාල සීමාව තුළදී ශුද්ධ පොලී ආදායම 5.71% කින් අඩුවී රුපියල් බිලියන 22.767 ක්වී තිබෙන අතර දෙවන කාර්තුවේදී පමණක් ශුද්ධ පොලී ආදායම 16.98% කින් අඩුවී රුපියල් බිලියන 9.984 ක්වී ඇත.
මෙම මාස හය තුළදී ශුද්ධ පොලී ආදායම අඩුවීම 5.71% ක් දක්වා සීමාකර ගැනීමට සමත්වී තිබෙන්නේ කාලීනව වගකීම් නැවත මිලකිරීම තුලින් පොලී වියදම 4.57% කින් රුපියල් බිලියන 38.626 ක් දක්වා අඩුකර ගැනීම මගිනි.
‘මෙම මාස හය තුළ අපගේ මූල්‍ය වාර්තා මිශ්‍ර ප්‍රතිඵල පෙන්වීමට සාධක ගණනාවක් බලපා තිබෙනවා. කොවිඞ්-19 වසංගත තත්ත්වයට පෙර සිටම පැවති ව්‍යාපාර වර්ධනයේ මන්දගාමීත්වය සහ ඒ හේතුවෙන් හානි පූරණ ගාස්තු වැඩිකිරීමට සිදුවීම සහ කොවිඩි-19 වසංගත තත්ත්වය හේතුවෙන් ගනුදෙනුකරුවන්ට සහන ලබාදීමට නියාමකයා විසින් නියම කිරීම මෙයට බලපා තිබෙනවා,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ සභාපති, ධර්ම ධීරසිංහ මහතා සඳහන් කළේය. ‘මේ අතර, සමහර අංශ වෙතින් ලැබුණු ලාභය තුළින් සෘණාත්මක බලපෑම් සමහරක් සමනය කර ගැනීමට අපි සමත් වුණා.’
කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ, එස්. රෙන්ගනාදන් මහතා සඳහන් කළේ සලකා බලන කාලය තුළදී මෙහෙයුම් ආදායම් 10.34% කින් වර්ධනය වී රුපියල් බිලියන 35.437 ක් වුවත් හානි පූරණ ගාස්තු සහ අනිකුත් අලාභ කැපී පෙනෙන ලෙස 67.56% කින් වර්ධනය වී රුපියල් බිලියන 9.261 ක්වූ බවයි. මේ ආකාරයෙන් හානි පූරණ ගාස්තු වැඩිකිරීමට හේතුවූයේ ප්‍රධාන වශයෙන්ම ණය සහනයන් ලබාදුන් ණය සඳහා ඉහළ ණය අවධානමක් පැවතීම, හඳුනාගත් කර්මාන්ත සඳහා අමතර ඒකාබද්ධ හානි පූරණ ගාස්තු වෙන්කිරීමට සිදුවීම සහ 2020 ජුනි 30 වනදා වනවිට කොවිඩි-19 වසංගත තත්ත්වය හේතුවෙන් බලාපොරොත්තු වන ණය අලාභයි. මෙම තත්ත්වය හේතුවෙන් ශුද්ධ මෙහෙයුම් ආදායම 1.56% කින් අඩුවී රුපියල් බිලියන 26.176 ක්වී තිබේ. ‘කිසිදා නොවූ විරූ අයුරින් බැංකුකරණයේදී සමබරතාවය රැකගැනීමට සිදුවී තිබෙනවා. එයට හේතුවී තිබෙන්නේ දර්ශකයන් මෙම කාල සීමාව තුළදී ඉහළ පහළ ගමන් කිරීමයි,’ යනුවෙන් ඔහු සඳහන් කළේය.
සලකා බලන මාස හයක කාලය තුළදී මෙහෙයුම් වියදම් රුපියල් බිලියන 12.986 ක් දක්වා සීමාකර ගැනීමට හැකි වූ බවත් එය 2019 අදාළ කාලය සමග සැසඳීමේදී වර්ධනය වී තිබෙන්නේ 2.72% කින් පමණක් බව රෙන්ගනාදන් මහතා පැවසුවේය. මේ තුළින් 2020 මුල් අර්ධය තුළදී මූල්‍ය සේවා මත බදු වලට පෙර රුපියල් බිලියන 13.191 ක මෙහෙයුම් ලාභයක් වාර්තා කිරීමට බැංකුව සමත්වී ඇත. මෙය 5.44% ක අඩුවීමකි. ‘පවතින තත්ත්වය හමුවේ මෙය සාධාරන කාර්ය සාධනයක් යැයි අපි විශ්වාස කරනවා,’ යනුවෙන් ඔහු පැවසීය.
එසේම, සලකා බලන කාල සීමාව තුළදී මූල්‍ය සේවා මත බදු 42.48% කින් අඩුවී රුපියල් බිලියන 2.073 ක්වී තිබෙන අතර එයට හේතුවී තිබෙන්නේ 2020 ජනවාරි මාසයේදී ණය නැවත ගෙවීමේ බද්ද (DRL) සහ 2019 දෙසැම්බර් මාසයේදී ජාතිය ගොඩනැගීමේ බද්ද (NBT) අහෝසි කිරීමයි. මේ තුලින් බැංකු සමූහය ආදායම් බදු වලට පෙර රුපියල් බිලියන 11.117 ක ලාභයක් වාර්තා කිරීමට සමත්වී තිබෙන අතර එය 2019 මුල් අර්ධයට සාපේක්ෂව 7.40% ක වර්ධනයකි.
මීට අමතරව, සලකා බලන කාල සීමාව තුළදී ආදායම් බදු වියදම් 0.24% කින් රුපියල් බිලියන 3.669 ක් දක්වා සුළු වශයෙන් අඩුවී තිබෙන අතර එයට හේතුවී තිබෙන්නේ බැංකුවේ සංවර්ධන බැඳුම්කර කළඹට මෙවර ලැබී තිබෙන බදු සහනය වන අතර ගිය වසරේ අදාළ කාලයේදී මෙවැනි සහනයක් නොලැබුණි. මෙම තත්ත්වය හේතුවෙන් බැංකු සමූහය විසින් සලකා බලන කාල සීමාව තුළදී බදු වලට පසුව රුපියල් බිලියන 7.448 ක ලාභයක් වාර්තා කිරීමට සමත්වූ අතර එය 11.61% ක වර්ධනයකි.
කොමර්ෂල් බැංකුව වෙන්ව ගත්විට 2020 පළමු අර්ධය තුළදී මූල්‍ය සේවා මත බදු වලට පෙර රුපියල් බිලියන 12.511 ක ලාභයක් වාර්තා කිරීමට සමත්වූ අතර එය ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී 8.17% ක පහළ යාමකි. මේ අතර, බැංකුව විසින් මෙම කාල සීමාව තුළදී බදු වලට පසුව රුපියල් බිලියන 6.961 ක ලාභයක් වාර්තා කිරීමට සමත්වූ අතර එය 7.65% ක වර්ධනයකි.
මේ අතර, 2019 දෙසැම්බර් 31 වනදා සිට සමූහයේ සමස්ත වත්කම් 11.19% කින් හෙවත් රුපියල් බිලියන 158 කින් වර්ධනය වී 2020 ජුනි 30 වනදා වනවිට රුපියල් ටි්රලියන 1.567 ක් දක්වා වර්ධනය වී තිබේ. මේ අනුව, පෙර මාස 12 අනුව සැලකූ විට 14.68% කින් හෙවත් රුපියල් බිලියන 200.568 කින් වත්කම් වර්ධනය වී ඇත.
එසේම, සලකා බලන කාල සීමාව තුළදී දළ ණය සහ අත්තිකාරම් 2019 අවසානයේ සිට රුපියල් බිලියන 10.829 කින් හෙවත් 1.16% කින් රුපියල් බිලියන 941.567 ක් දක්වා වර්ධනය වී තිබේ. මේ අතර, ණය පොත ගෙවුණු වසරට සාපේක්ෂව රුපියල් බිලියන 52.644 කින් හෙවත් 5.92% කින් වර්ධනය වී ඇත.
මෙම කාල සීමාව තුළදී බැංකුවේ සමස්ත තැන්පතු රුපියල් බිලියන 86.237 කින් හෙවත් 8.07% කින් 2020 ජුනි 30 වනදා වනවිට රුපියල් ටි්රලියන 1.155 ක් දක්වා වර්ධනය වී තිබේ. එය සාමාන්‍යයෙන් මාසයකට තැන්පතු රුපියල් බිලියන 14 කට වඩා වැඩි වර්ධනයක් ලෙසින් කැපී පෙනේ. මේ අතර, 2019 ජුනි 30 වනදා සිට බැංකුවේ තැන්පතු වර්ධනය රුපියල් බිලියන 118.069 ක් වන අතර එය 11.38% ක වර්ධනයකි. එය සාමාන්‍යයෙන් මාසයකට රුපියල් බිලියන 9.84 ක තැන්පතු වර්ධනයකි.
අනිකුත් දර්ශකාංක සැලකීමේදී බැංකුවේ පළමු පෙළ ප්‍රාග්ධන ප්රමාණත්ව අනුපාතය (CAR) 2020 ජුනි 30 වනදා වනවිට 13.020% ක් දක්වා වර්ධනය වී තිබේ. එයට සහයෝගය ලැබී තිබෙන්නේ රජයේ සුරැකුම්පත්වල සිදුකළ ආයෝජනය වර්ධනය වීම සමග අවධානම් වත්කම් අඩුවීම සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සුළු හා මධ්‍යම පරිමාණ ණය අංශය වෙනුවෙන් පිරිවැටුම පදනම් කරගත් සීමාව ඉහළ දැමීම සඳහා නිර්දේශ කිරීමත් සමගම බොහෝ ණය අඩු අවධානම් ණය ලෙස කාණ්ඩගත වීමයි. මේ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කොවිඞ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් පළමු පෙළ ප්‍රාග්ධණ ප්රමාණත්ව අනුපාතය ලෙසින් අළුතින් ඇතිකළ 9% ක සීමාවට වඩා වඩාත් ඉහළින් බැංකුව සිටීම මෙහිදී කැපී පෙනේ. එසේම, බැංකුවේ සමස්ත ප්‍රාග්ධන අනුපාතය වන 16.866% ක ප්‍රමාණයද අළුතින් ඇතිකළ 13% ක ප්‍රතිශතයට වඩා ඉහළ අගයකි.
බැංකුව සඳහන් කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (IFC) විසින් ඉදිරියේදී කොමර්ෂල් බැංකුවට සිදුකිරීමට නියමිත ඩොලර් මිලියන 50 ක කොටස් ආයෝජනය සමග බැංකුවේ පළමු පෙළ ප්‍රාග්ධන ප්රමාණත්ව අනුපාතය සහ කොටස්කරුවන්ගේ වටිනාකම් තවදුරටත් ඉහළ යනු ඇති බවයි.
සලකා බලන කාල සීමාව තුළදී බැංකුවේ දළ අක්‍රීය ණය අනුපාතය 2019 අවසානයේ තිබූ 4.95% ක මට්ටමේ සිට 5.37% ක් දක්වා වර්ධනය වී තිබෙන අතර ශුද්ධ අක්‍රීය ණය අනුපාතය 3.0% ක සිට 3.19% ක් දක්වා වර්ධනය වී ඇත.
මේ අතර, බැංකුවේ පොලී අන්තරය 2019 දෙසැම්බර් අවසානයේ තිබූ 3.51% ක මට්ටමේ සිට සලකා බලන මාස හයක කාල සීමාව තුළදී 3.04% ක් දක්වා අඩුවී තිබේ. එසේම, 2019 අවසානයේදී බැංකුවේ වත්කම්වල ප්රතිලාභ අනුපාතය (බදු වලට පෙර) සහ කොටස් වලට අදාළ ප්රතිලාභ අනුපාතය පිළිවෙලින් 1.66% ක් සහ 13.54% ක්වූ අතර එය 2020 ජුනි 30 වනදා වනවිට 1.43% ක් සහ 10.21% ක්වී ඇත.
කොවිඞ් වංසගත තත්ත්වයෙන් ඇතිවූ සෘණාත්මක බලපෑමෙන් සිය ගනුදෙනුකරුවන් මුදවා ගැනීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් සහන මාලාවක් ඇතිකළ අතර ව්‍යාපාර වලට සහ ගනුදෙනුකරුවන්ට නැවත නැගී සිටීම සඳහා සහයෝගය ලබාදී තිබේ. මේ අනුව, බැංකුව විසින්ම අරමුදල් සපයන සහාය ණය යෝජනා ක්‍රම දෙකක් සුළු හා මධ්‍යම පරිමාණ සහ ක්ෂුද්‍ර ව්‍යවසායකයින් වෙනුවෙන් බැංකුව ආරම්භ කළ අතර දැනට සිටින ණයකරුවන්ට ණය නැවත ගෙවීමේ විශේෂ ගෙවීමේ සහන යෝජනා ක්‍රමයක් සහ ක්‍රෙඩිට් කාඞ්පත් ගනුදෙනුකරුවන්ට ණය නැවත ගෙවීමේ විශේෂ සැලසුම් හඳුන්වා දෙන ලදී. එසේම, සියළුම ණයවල පොලී අනුපාත අඩුකිරීමටද බැංකුව කටයුතු කර ඇත.
ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී සියවස සමරයි. කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 873 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.
බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.
Video Story