2020 පෙබරවාරි මාසයේ දී සංචාරකයින්ගේ පැමිණීම 17.7%කින් පහළට. චීනුන් 92%කින් අඩුවෙලා

    March, 4, 2020

    පසුගිය පෙබරවාරි මාසයේ දී මෙරටට පැමිණි මුළු විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 207,507 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ. කෙසේවෙතත් මෙය 2019 වසරේ පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි 252,033 ක්වූ සංචාරකයින් ප්‍රමාණය හා සැසඳීමේ දී 17.7%ක පහළ යාමකි.

    ගෝලීය වසංගත තත්ත්වයක් බවට මේ වන විට පත්ව ඇති කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් මේ වන විට ගෝලීය සංචාරක කර්මාන්තය බරපතල අර්බුදයකට මුහුණ පා ඇත. මේ තත්ත්වය මනාව නිරූපණය කරමින් ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණෙන ප්‍රධානතම මූලාශ්‍රයක් වන චීනය 2012 වසරෙන් පසු පළමු වතාවට වැඩි වශයෙන් සංචාරකයින් පැමිණෙන රටවල් 10 ලැයිස්තුවෙන් ඉවතට විසි වී තිබේ.

    2019 පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට 28,039 ක චීන සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇති අතර එය පසුගිය පෙබරවාරි මාසයේ දී 2,096 ක් දක්වා 92.5%කින් පහළ වැටී ඇත.

    2020 පෙබරවාරි මාසයේ දී වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙන්. එම පම්‍රණය 35,309 ක් වන අතර එය 2019 පෙබරවාරි මාසයට වඩා 9.4% ක වර්ධනයකි.

    2020 වසරේ මුල් මාස දෙක තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති මුළු සංචාරකයින් ප්‍රමාණය 435,941 ක් වන අතර එම 2019 වසරේ මුල් මාස 02 ට වඩා 12.1%ක පහළ යාමක් ලෙසින් වාර්තා වේ.