2020 මුල් මාස 08 දී වාහන ආනයන බදු අදායම 47%කින් පහළට

    November, 19, 2020

    නිෂ්පාදන/සුරා බදු තුළින් ලද ආදායම මෝටර් වාහන හැර අනෙකුත් සියළුම අංශයන්ගෙන් ලද ආදායම් වැඩිවීමත් සමඟින් 2019 වසරේ සමාන කාලපරිච්ඡේදයේ දී වාර්තා වූ රු. බිලියන 94.6 ට සාපේක්ෂව 2020 වසරේ පළමු මාස තුන තුළ දී රු. බිලියන 105.6 දක්වා සියයට 11.6 කින් සැලකිය යුතු ලෙස වර්ධනය විය. කෙසේ වුවද, කොවිඞ්-19 වසංගතයෙහි බලපෑම පෙන්නුම් කරමින් 2020 වසරේ දෙවන කාර්තුව තුළ දී මෙම ආදායම රු. බිලියන 54.5 ක් දක්වා සියයට 44.9 කින් කැපීපෙනෙන ලෙස අඩු වූ අතර, රටෙහි නව සාමාන්‍ය තත්ත්වයට පත්වීමත් සමඟින් අගෝස්තු මාසය වන විට එම ආදායම යථා තත්ත්වයට පත් විය. රජයේ බදු ආදායම සඳහා නිෂ්පාදන/සුරා බදු තුළින් ලද ආදායම ප්‍රධාන දායකයා ලෙස තවදුරටත් පවතින අතර, එය අදාළ කාලපරිච්ඡේදය සඳහා වන මුළු බදු ආදායමෙන් සියයට 26.8 ක් ලෙස ද, 2020 වසර සඳහා වූ වාර්ෂික ඇස්තමේන්තුවෙන් සියයට 60.5 ක ලඟාකරගැනීමක් ද වේ.

    දුම්වැටි අලෙවිය 2020 වසර තුළ දී පහත වැටුණ ද, දුම්වැටි තුළින් ලද නිෂ්පාදන බදු ආදායම 2019 වසරේ සමාන කාලපරිච්ඡේදය තුළ දී වාර්තා වූ රු. බිලියන 58.3 ට සාපේක්ෂව 2020 වසරේ පළමු මාස අට තුළ දී රු. බිලියන 58.9 දක්වා සියයට 1.1 කින් සුළු වශයෙන් වර්ධනය විය. කෙසේ වුවද, දුම්වැටි අලෙවිය පහත වැටීමේ පාර්ශ්වීය බලපෑම ඉක්මවමින් දුම්වැටි මත නිෂ්පාදන බදු ඉහළ දැමීමෙන් වූ බලපෑම මෙම ආදායම් කාර්යසාධනය කෙරෙහි ධනාත්මකව බලපාන ලදී.

    මෝටර් වාහන ආනයනය තුළින් උපයන ලද නිෂ්පාදන බදු ආදායම 2019 වසරේ සමාන කාලපරිච්ඡේදය තුළ දී වාර්තා වූ රු. බිලියන 81.5 ට සාපේක්ෂව 2020 වසරේ පළමු මාස අට තුළ දී රු. බිලියන 43.1 දක්වා සියයට 47.1 කින් කැපීපෙනෙන ලෙස අඩු විය. මෙම මන්දගාමී කාර්යසාධනය සඳහා 2020 වසරේ මාර්තු මස සිට ක්‍රියාත්මක කරන ලද මෝටර් වාහන ආනයනය මත පනවන ලද සීමා හේතුවෙන් මෝටර් වාහන ආනයනය සීඝ්‍ර ලෙස අඩුවීම ප්‍රධාන වශයෙන් හේතු විය. මීට අමතරව, 2019 වසරේ අයවැයට සමගාමීව මෝටර් වාහන මත නිෂ්පාදන බදු ඉහළ නැංවීම මෝටර් වාහන ආනයනය කෙරෙහි ඍණාත්මකව බලපාන ලදී.

    මාර්තු සිට මැයි දක්වා වන මාස තුන තුළ නිරීක්ෂණය වූ මත්පැන් තුළින් ලද ආදායමේ අඩුවීම ජුනි සිට ජූලි දක්වා මාස තුළ දී නැවත එහි වර්ධන විභවතාවය පෙන්නුම් කරමින් යථා තත්ත්වයට පත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස 2019 වසරේ සමාන කාලපරිච්ඡේදයේ දී වූ රු. බිලියන 75.6 ක බදු ආදායම 2020 වසරේ පළමු මාස අට තුළ දී රු. බිලියන 72.5 දක්වා සියයට 4.1 කින් ආන්තිකව අඩුවූ අතර, කොවිඞ්-19 වසංගත කාලපරිච්ඡේදය තුළ මත්පැන් නිෂ්පාදනය සහ මත්පැන් අලෙවිය පහත වැටීම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. සැර මත්පැන් තුළින් ලද සුරා බදු ආදායම 2019 වසරේ සමාන කාලපරිච්ඡේදයේ දී වාර්තා වූ රු. බිලියන 54.6 ට සාපේක්ෂව 2020 වසරේ පළමු මාස අට තුළ දී රු. බිලියන 51.3 දක්වා සියයට 6.0 කින් අඩු විය. එමෙන්ම, ධාන්‍ය මත්පැන් වලින් ලද සුරා බදු ආදායම 2019 වසරේ සමාන කාලපරිච්ඡේදයේ දී වාර්තා වූ රු. බිලියන 21.6 ට සාපේක්ෂව 2020 වසරේ පළමු මාස අට තුළ දී රු. බිලියන 18.1 දක්වා සියයට 16.2 කින් අඩු විය.

    ඛනිජතෙල් නිෂ්පාදන පරිභෝජනය ඉහළ යාමෙන් ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ සළකුණු පිළිඹිබු කරමින්, ඛනිජතෙල් නිෂ්පාදන මගින් ලද ආදායම 2019 වසරේ සමාන කාලපරිච්ඡේදය තුළ දී පැවති රු. බිලියන 14.1 ට සාපේක්ෂව 2020 වසරේ ජනවාරි මස සිට මාර්තු මස දක්වා රු. බිලියන 18.3 කින් එනම් සියයට 29.3 කින් සැලකිය යුතු ලෙස වැඩි විය.

    කෙසේ වුවද, මෙම ඉහළ ආදායම් කාර්යසාධනය 2020 වසරේ අප්‍රේල් මස සිට ජුනි මස දක්වා රු. බිලියන 7.4 කින් එනම් සියයට 52.0 කින් දැඩි ලෙස පහත වැටුණු අතර, 2020 වසරේ ජූලි මස සිට අගෝස්තු මස දක්වා රු. බිලියන 11.6 කින් එනම් සියයට 4.4 ක වර්ධනයක් පෙන්නුම් කරමින් යථා තත්ත්වයට පත් විය. මේ අතර, අනෙකුත් නිෂ්පාදන මත වූ නිෂ්පාදන බදු ආදායම 2019 වසරේ සමාන කාලපරිච්ඡේදය තුළ දී පැවති රු. බිලියන 3.3 ට සාපේක්ෂව 2020 වසරේ පළමු මාස අට තුළ දී රු. බිලියන 2.8 දක්වා සියයට 14.8 කින් මධ්‍යස්ථ ලෙස අඩු විය.

    2020-21 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවෙහි මේ බව සඳහන් වේ.