• Ada Derana BIZ Sinhala
  • sri lanka
  • tax
  • tobacco and alcohol

2021 දී මුළු බදු ආදායමෙන් 19% ක් දුම්වැටි හා මත්පැන් මගින් – මුදල් රාජ්‍ය අමාත්‍ය

September, 20, 2022

පසුගිය 2021 වසරේ රජයේ සමස්ත බදු ආදායමෙන් 19% ක් ලැබී ඇත්තේ දුම්වැටි සහ මද්‍යසාර හරහා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අද (20) දින පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

මේ අතර පවතින උද්ධමනකාරී වාතාවරණය තුළ දුම්වැටි සහ මද්‍යසාරවල සළකුණු කරන ලද මිල ගණන් වරින් වර වෙනස් කිරීම ප්‍රායෝගික ගැටළුවක් බවත්, එහිදී වඩාත් සංකීර්ණ වූ මිල සූත්‍රයක් වෙනුවට සරල පැහැදිලි දර්ශකයක් මගින් නුදුරු අනාගතයේ දී හඳුන්වා දීමට පියවර ගන්නා බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

2021 වසරේ දුම්වැටි මගින් නිෂ්පාදන හා එකතු කළ අගය මත බදු රු. බිලියන 98 යි.

2021 වසරේ මත්පැන් මගින් සුරා බදු හා එකතු කළ අගය මත බදු ආදායම රු. බිලියන 150 යි.

ඒ අනුව 2021 වසරේ සමස්ත බදු ආදායමෙන් 19% ක් දුම්වැටි සහ මද්‍යසාර මගින් ලැබී ඇත.

දුම්වැටි සහ මද්‍යසාර සඳහා නව බදු ව්‍යුහයක් හඳුන්වා දීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින අතර එමඟින් තවදුරටත් ඉහළ බදු ආදායමක් ලබා ගත හැකි වනු ඇත.

දුම්වැටි සඳහා නිෂ්පාදන බදු ඒකක පදනමින්, දුම්වැටියේ දිග ප්‍රමාණය මත අය කරනු ලබයි.

එමෙන්ම මද්‍යසාර සඳහා සුරා බදු එහි සැර ප්‍රමාණය මත බදු අය කරයි.

මෙ නිෂාපාදන බදු හා සුරා බදුවලට අමතරව අලෙවිය මත 15% ක එකතුකළ අගය මත බද්දක් ද, 2022 ඔක්තෝබර් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි පිරිවැටුම මත 2.5% ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්දක් ද අයකරනු ඇත.

ඊට අමතරව මෙම දුම්වැටි සහ මද්‍යසාර සඳහා 40% ක ඉහළම ආදායම් බදු අනුපාතයකට යටත් කර ඇත.

දුම්වැටි සහ මද්‍යසාර මත නව බදු ක්‍රමයක් ඇති කිරීමට අවශ්‍ය කටයුතු පිළිබඳ විමර්ෂනය කරමින් පවතී.

කෙසේවුවද උද්ධමනය මත පැනවූ බදු ක්‍රමයක් යෝජනා කර තිබුණ ද මාසික උද්ධමන විචලනය වීම මත දුම්වැටි සහ මද්‍යසාරවලට සලකුණු කරන ලද මිල ගණන් වරින් වර වෙනස් කිරීම පිළිබඳ ප්‍රායෝගික ගැටළුවක් මතු වුවත්, ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු වී ඇත.

එහිදී වඩාත් සංකීර්ණ වූ මිල සූත්‍රයක් වෙනුවට සරල පැහැදිලි දර්ශකයක් මගින් නුදුර අනාතයේ දී මෙම අරමුණ ඉටු කිරීමට සූදානම්.