2022 වර්ෂයේදී ඩොලර් මිලියන 6.1 ක අපනයන ඉලක්කයක් කරා යන “ස්මාර්ට් ඇග්‍රෝ” වැනිලා ව්‍යාපෘතිය ආරම්භ කෙරේ

    July, 1, 2020

    වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකාර්මික අංශය නව්‍යකරණ ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ මධ්‍යම පලාත් කාර්යාලය හා ඒකාබද්ධව ක්‍රියාත්මක කරන අපනයන ගම්මාන 5000 ක් බිහිකිරීමේ වැඩසටහන යටතේ මධ්‍යම පලාත තුළ පිහිටුවනු ලැබූ ස්මාර්ට් ඇග්‍රෝ වැනිලා සමිති 14 ක ප්‍රතිලාභීන් 1190 ක්  සඳහා පළමු අදියර යටතේ රු.මි.46.051ක මුදලක්, ස්මාර්ට් ඇග්‍රෝ වැනිලා ඒකක  (ඒකකයට පැල 100 කි) 1318 ක් සඳහා ලබා දෙන ලදී. මේ සඳහා චෙක්පත් ප්‍රදානය කිරීමේ උත්සවය ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන්,  අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම නව්‍යකරණ ව්‍යාපෘතියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, නීති අංශයේ ප්‍රධානී, ව්‍යාපෘති කළමනාකරු (මධ්‍යම පලාත්) ඇතුළු නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් 2020.06.16 වන දින පෙ.ව. 9.30 ට ගැටඹේ, මහින්ද රාජපක්ෂ තොරතුරු කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේදී පැවැත්විනි.

    මෙම ව්‍යාපෘතිය සඳහා අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ ස්මාර්ට් ඇග්‍රෝ සමිති ලියාපදිංචි කිරීම සහ සම්බන්ධීකරණය ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සේවයේ නියුතු අපනයන සංවර්ධන නිළධාරීන් සහ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අපනයන කෘෂිකර්ම නිලධාරීන් මගින් සිදු කරන ලදී.

    එමෙන්ම මෙම ව්‍යාපෘතිය සඳහා රෝපණ ද්‍රව්‍ය ලබා දීමේ සිට උපදෙස් ලබා දීම සහ වැනිලා අස්වැන්න මිලදී ගැනීම දක්වා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි ආයතනයක් වන ‍නැචුරල් වැනිලා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය අත්වැල් බැඳගෙන සිටී. මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ 2022 වර්ෂය වන විට සැකසූ වැනිලා කිලෝ 21,966 ක් මගින් ඇ.ඩො.මි.6.1 ක ඉලක්කයක් ලඟා කර ගැනීම වන අතර මේ තුළින් ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීමද අපේක්ෂා කෙරේ.