2024 ටෝකියෝ සිමෙන්ති අලෙවි නියෝජිත සමුළුව අතිඋත්කර්ෂවත් මුහුණුවරකින්

    April, 29, 2024

    සිය බෙදාහැරීම් ජාලයේ විශිෂ්ඨයන් ඇගයීමට සංවිධානය කළ ටෝකියෝ සිමෙන්ති අලෙවි නියෝජිත සමුළුව අතිඋත්කර්ෂවත් ලෙස සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී නොබෝදා පැවැත්විණි. දිවයින පුරා විසිරි සිටින දහස් ගණනක් වූ ටෝකියෝ සිමෙන්ති බෙදාහැරීමේ ජාලය අතරින්, ගෙවුනු වර්ෂයේ වෙළඳ ඉලක්ක අතිසාර්ථකව ජයගත් අලෙවි නියෝජිත  ආයතන 140කට ආසන්න ගණනක් එහිදී සම්මානයට පාත්‍ර වූහ.

    පෙර නොවූවිරූ දැවැන්ත ආර්ථික අභියෝග රැසක් හමුවේ 2024 වසර පුරා සමාගමට ලබාදුන් අඛණ්ඩ සහයෝගය අගයමින් හොඳම ටෝකියෝ සිමෙන්ති අලෙවි නියෝජිතයින්ට මෙහිදී වටිනා ත්‍යාග සහ සහතිකපත් ප්‍රධානය කෙරුනු අතර, සිටි හාඩ්වෙයාර් ඇන්ඩ් ස්ටෝර්ස් - යාපනය, අන්ජෙනෙයාර් සිමෙන්ට් ඇන්ඩ් හාඩ්වෙයාර් ඩීලර්ස් – මඩකලපුව, නැෂනල් ට්‍රේඩිං ස්ටෝර්ස් – කුරුණෑගල, ෂන්මුගම් ස්ටෝර්ස් – කිලිනොච්චිය, එමරල්ඩ් හාඩ්වෙයාර් – උඩුප්පිඩ්ඩි සහ හංසිකා ට්‍රාන්ස්පොර්ට් - කටුනේරිය යන ව්‍යාපාර ආයතන වසරේ විශිෂ්ඨතම ජයග්‍රාහකයන් ලෙස කිරුළු පැළඳූහ.

    ජනප්‍රිය තරු සහභාගීත්වයෙන් පැවති විශේෂාංග පෙළකින් සපිරි වාර්ෂික සම්මාන උත්සවයේ විශේෂ ආරාධිතයින් ලෙස, ටෝකියෝ සිමෙන්ති (ලංකා) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ - එස්.ආර්. ඥානම්, සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී - එම්. දයානන්දන්, උපදේශක අධ්‍යක්‍ෂ - ක්‍රිස්ටෝපර් ප්‍රනාන්දු, සහ සමූහ අලෙවි සාමාන්‍යාධිකාරී - දශාන්ත උඩවත්ත යන මහත්වරු ඇතුළු ටෝකියෝ සිමෙන්ති සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය හා දිවයිනේ නන්දෙසින් පැමිණි අලෙවි නිලධාරී මහතුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    උත්සවය ඇමතූ ටෝකියෝ සිමෙන්ති ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ එස්.ආර්. ඥානම් මහතා, දශක හතරක් ඉක්මවූ ටෝකියෝ සිමෙන්ති ව්‍යාපාරික ඉතිහාසයේ මෙතෙක් මුහුණපෑ දරුණුතම ආර්ථික පසුබෑමට සාර්ථකව මුහුණදීමට ලබාදුන් නොමඳ සහයෝගය වෙනුවෙන් අලෙවි ජාලයේ සියලුම සාමාජිකයන්ට සිය ප්‍රණාමය පුදකර සිටියේය. තවද, දැඩි තරඟකාරී වෙළඳපොල තත්ත්වයන් හමුවේ ටෝකියෝ සිමෙන්ති සමාගම කෙරෙහි අලෙවි නියෝජිතයන් තබා ඇති නොබිඳෙන විශ්වාසය එලෙසම සුරැකීමට සමාගම නිරතුරුව කැපවී සිටින බව ද ඒ මහතා පැවසීය. පසුගිය වසර පුරා පැවති ඉතාමත් අවිනිශ්චිත ව්‍යාපාරික වටපිටාව මධ්‍යයේ වුවද, පාරිභෝගික විශ්වාසය තහවුරු කරමින් ව්‍යාපාරික සබඳතාවයන් අඛණ්ඩව පවත්වාගෙන යාම උදෙසා ලොකු කුඩා සියළුම අලෙවි නියෝජිතයින් විසින් දැක්වූ කැපවීම මෙහිදී විශේෂයෙන් සිහිපත් කෙරිනි.

    විචිත්‍රාංග රැසකින් සපිරි, වර්ණවත් වාර්ෂික අලෙවි නියෝජිත සමුළුව, ටෝකියෝ සිමෙන්ති සමූහය තම වෙළඳ නියෝජිත ප්‍රජාව දිරිගැන්වීම උදෙසා සංවිධානය කරන ප්‍රමුඛතම වැඩසටහනයි. සැබෑ ශ්‍රී ලාංකීය සමාගමක් ලෙස, අප රට තුලම සිදුකෙරෙන දැවන්ත අගය එක් කිරීමේ ක්‍රියාවලියක් හරහා අපගේ ජාතික ආර්ථිකය පොහොසත් කිරීමට ටෝකියෝ සිමෙන්ති සමූහය ප්‍රතිඥා දී ඇති අතර, සමාගමේ අලෙවි නියෝජිත ජාලය එහි තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.

    දිවයින පුරා විසිරුණු තම ශක්තිමත් අලෙවි නියෝජිත ජාලය සමඟ එක්ව, ටෝකියෝ සිමෙන්ති සමූහය දේශීය ඉදිකිරීම් කර්මාන්තය සැබෑ පරිවර්තනයකට ලක් කරමින් NIPPON CEMENT, TOKYO SUPER, NIPPON CEMENT PRO සහ ATLAS CEMENT වැනි කීර්තිමත් සිමෙන්ති නිෂ්පාදන සහ, දිවයිනේ ප්‍රමුඛතම පෙර සැකසූ කොන්ක්‍රීට් නාමය වන TOKYO SUPERMIX මෙන්ම, වඩාත් ජනප්‍රිය TOKYO SUPERBOND, TOKYO SUPERSEAL සහ TOKYO SEUPERCAST වලින් පටන් ගන්නා සිමෙන්ති-පාදක නව්‍ය නිෂ්පාදන පරාසය ඇතුළු විශ්වාසනීය සන්නාම මාලාවක් ස්ථාපිත කිරීමට සමත්ව සිටියි.

    දශක ගණනාවක් පුරා පාරිභෝගික විශ්වාසය දිනාගත් උසස් තත්ත්වයේ සිමෙන්ති, කොන්ක්‍රීට් සහ සිමෙන්ති-පාදක නව්‍ය නිෂ්පාදන පෙලක් සමඟින් ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉහළින්ම කියැවෙන ටෝකියෝ සිමෙන්ති සමූහය, අප රටේ ප්‍රගමනයට ශක්තිය සපයන දේශය ගොඩනැංවීමේ ප්‍රමුඛතම හවුල්කරුවා ලෙස හිමිකරගෙන ඇති ස්ථාවරය නැවතත් තහවුරු කිරීමට සමත්ව සිටියි.

     

    ඡායාරූපය : 2024 වසරේ හොඳම ටෝකියෝ සිමෙන්ති අලෙවි නියෝජිත පළමු පෙළ ජයග්‍රාහකයින්, කළමනාකාර අධ්‍යක්‍ෂතුමන් ඇතුළු ටෝකියෝ සිමෙන්ති ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සමඟ.