2025 අවුරුදු කැවිලි මේසයේ වියදම ඉහළට. 2024ට සාපේක්ෂව 7%ක වැඩිවීමක්

    April, 10, 2025

    අමුද්‍රව්‍යවල මිල 2019ට වඩා 2.4 ගුණයකින් වැඩියි

    සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සඳහා සාම්ප්‍රදායික කැවිලි මේසයක් පිළියෙළ කිරීමේ වියදම 2024 ට සාපේක්ෂව 2025 දී 7% කින්  වැඩි වී ඇති නමුත් එය 2019 දී දරන ලද වියදම මෙන් දෙගුණයකටත් වඩා ඉහළ මට්ටමක පවතී.

    ආර්ථිකය පිළිබද තොරතුරු සහ විශ්ලේෂණ සපයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වේදිකාව වන PublicFinance.lk හි අධ්‍යනයකින් මෙම කරුණු අනාවරණයව ඇත. PublicFinance.lk පවත්වාගෙන යන්නේ වෙරිටේ රිසර්ච් ආයතනය යි.

    2025 දී අවුරුදු රසකැවිලි අමුද්‍රව්‍යවල පිරිවැය 2024 ට වඩා 7% වැඩි වී බව එයින් පෙන්නුම් කෙරේ. මෙම වැඩිවීමට මූලික වශයෙන් හේතු වී ඇත්තේ පොල් මිල ඉහළ යාම වන අතර, 2024ට සාපේක්‍ෂව එහි මිල වැඩිවීම 80% කි.එහි ප්‍රතිඵලයක් ලෙස පොල්තෙල් මිල 40% කින් ඉහළ ගොස් ඇත. වෙනත් බොහෝ අමුද්‍රව්‍ය මිල අඩු වී හෝ නොවෙනස්ව තිබී ඇත.

    2019 ට සාපේක්‍ෂව 2024 දී අමුද්‍රව්‍යවල පිරිවැය 2.2 ගුණයකින් ඉහළ ගොස් තිබුණූ අතර 2025 දී එය 2019 පිරිවැය මෙන් 2.4 ගුණයක් දක්වා ඉහළ ගොස් ඇත.

    අවුරුදු කැවිලි මේසය, සෞභාග්‍යය සහ සතුට සංකේතවත් කරන සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීය රසකැවිලි වලින් යුක්ත වේ. ගෘහාශ්‍රිතව විවිධත්වයන් තිබුණද, කැවිලි මේසයක පොදු අංග අතරට කිරිබත්, කොකිස්, කෙසෙල්, අලුවා, කැවුම්, දොදොල්, මුං කැවුම් සහ බටර් කේක් ඇතුළත් වේ.

    මෙම විශ්ලේෂණය සඳහා පුද්ගලයින් 4-5 දෙනෙකුගෙන් යුත් නිවසක් සඳහා, යූ-ටියුබ් නාලිකාව වන “අපේ අම්මා” හි වට්ටෝරු මත පදනම් වූ අමුද්‍රව්‍ය ප්‍රමාණ භාවිතා කරන ලදී. කුළුබඩු සමග විදුලිය සහ ගෑස් වැනි උපයෝගිතා, සදහා වූ පිරිවැය, මෙම ගණනය කිරීම් වලදී සැලකිල්ලට ගෙන නැත. 2019 (අප්‍රේල් පළමු සතිය), 2023 (අප්‍රේල් පළමු සතිය) 2024 (මාර්තු තෙවන සතිය) සහ 2025 (මාර්තු තෙවන සතිය) සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ විවෘත වෙළෙඳපොළ සතිපතා සාමාන්‍ය සිල්ලර මිල ගණන්වලින් සහ සෘජුවම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (DCS) වෙතින් දත්ත ලබා ගන්නා ලදී.