June, 11, 2026
සෞදි අරාබි රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, සවුදියා (Saudia - SV) සහ ෆ්ලයිනාස් (Flynas - XY) ගුවන් සේවාවන් සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයන් ඇති කරගත් බව ශ්‍රීලංකන් ගුවන් සේවය නිවේදනය කරයි. මෙම සහයෝගීතාවය තුළින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගමනාන්ත ජාලය පුළුල් වන අතර සෞදි අරාබි රාජ්‍යය තුල හා ජාත්‍යන්තර ගමනාන්ත වෙත ප්‍රවේශ වීමට මගීන්ට අවස්ථාව උදාවේ.
මෙම හවුල්කාරිත්වය යටතේ, සවුදියා ගුවන් සේවය ජාත්‍යන්තර ගමනාන්ත 7ක් සහ සෞදි අරාබි රාජ්‍යයේ දේශීය ගමනාන්ත 13ක් වෙත ප්‍රවේශය ලබා දෙන අතර, ෆ්ලයිනාස් ගුවන් සේවය තවත් ජාත්‍යන්තර ගමනාන්ත 8ක් සහ සෞදි අරාබි රාජ්‍යයේ දේශීය ගමනාන්ත 6ක් එක් කරයි. එමඟින් මගීන්ට ඉහළ සංචාරක නම්‍යශීලීභාවයක් සහ බාධාවකින් තොරව සෞදි රාජ්‍යයේ ගමනාන්ත වෙත ගමන් කළ හැකි වේ.
සවුදියා ගුවන් සේවය සමඟ මගීන්ට අම්මාන්, අබුඩාබි, බහරේන්, කයිරෝ, ඩුබායි, කුවේට් සිටි සහ ලොස් ඇන්ජලීස් ඇතුළු ගමනාන්ත වෙත ගමන් කළ හැකි අතර, ජෙද්ද, අබහ්, මදීනා සහ ටබුක් වැනි සෞදි අරාබියේ ප්‍රධාන දේශීය ගමනාන්ත ද ඊට ඇතුළත් වේ. ෆ්ලයිනාස් ගුවන් සේවය ඇඩිස් අබාබා, කරච්චි, ගීසා, ටෂ්කන්ට් සහ සොහාග් වැනි ජාත්‍යන්තර ගමනාන්ත වෙත ද ජිසාන්, නජ්රාන්, දම්මාම් සහ ජෙද්ද වැනි දේශීය ගමනාන්ත වෙත සම්බන්ධතා ද ලබා දෙමින් මෙම ජාලය තවදුරටත් පුළුල් කරයි.
සෞදි අරාබිය පුරා සංචාරය කරන මගීන්ට දැන් රියාද් සහ දම්මාම් හරහා ශ්‍රීලංකන් ගුවන් සේවයේ කොළඹ බලා ක්‍රියාත්මක වන දෛනික ගුවන් ගමන් සමඟ බාධාවකින් තොරව සම්බන්ධ විය හැකි අතර, එතැන් සිට ගුවන් සේවයේ ජාත්‍යන්තර ජාලයේ ඕනෑම ගමනාන්තයක් වෙත ගමන් කළ හැකිය. දෙරට අතර ව්‍යාපාරික, විවේකී සහ නෑදෑ හිතමිතුරන් බැලීමට යන (VFR) සංචාරකයින්ගේ වර්ධනය වන ඉල්ලුම සපුරාලීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය දැනට රියාද් සහ දම්මාම් යන නගර දෙකෙන්ම කොළඹ බලා දෛනික ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ වාණිජ ප්‍රධානී දිමුත් තෙන්නකෝන් මහතා මෙසේ පැවසීය: "මෙම හවුල්කාරිත්වය තුලින් සෞදි අරාබිය පුරා ශ්‍රීලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් පුළුල් කරන අතරම, මැදපෙරදිග, අප්‍රිකාව සහ උතුරු ඇමරිකාවේ ප්‍රධාන ගමනාන්ත වෙත සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් තබනවා. සවුදියා සහ ෆ්ලයිනාස් සමඟ එක්ව කටයුතු කිරීමෙන්, අපගේ පාරිභෝගිකයින්ට කලාපීය සහ ජාත්‍යන්තර ගමනාන්ත රැසක සිට ශ්‍රී ලංකාවට සහ ඉන් ඔබ්බට වඩාත් සුවපහසු ගුවන් සම්බන්ධතා ලබා දීමට අපට හැකියාව ලැබෙනවා."
මෙම සහයෝගීතාවය පිළිබඳව අදහස් දක්වමින් සෞදි අරාබියේ ශ්‍රීලංකන් ගුවන් සේවා කළමනාකරු තුසිත වික්‍රමසිංහ මහතා මෙසේ ප්‍රකාශ කළේය: "සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සවුදියා සහ ෆ්ලයිනාස් සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම ගැන අප සතුටු වෙනවා. මෙම සහයෝගීතාවය මගීන්ට වැඩි පහසුවක්, පුළුල් සංචාරක විකල්පයන් සහ අපගේ ඒකාබද්ධ ජාලයන් හරහා බාධාවකින් තොරව සංචාරය කිරීමේ අවස්ථාව හා වඩාත් සුවපහසු සංචාරක අත්දැකීමක් ලබා දෙනවා."
ශ්‍රීලංකන් ගුවන් සේවය සිය සෘජු ගුවන් ගමන් සහ හවුල්කාර ගුවන් සේවා (codeshare) හරහා රටවල් 63ක් පුරා ගමනාන්ත 131ක් වෙත මගීන් සම්බන්ධ කරන අතර, ලොව පුරා ගමනාන්ත 34ක් වෙත සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි. එහි ගුවන් මෙහෙයුම් ජාලය යුරෝපය, ඕස්ට්‍රේලියාව, මැදපෙරදිග, ඉන්දීය අර්ධද්වීපය, අග්නිදිග ආසියාව සහ ඈත පෙරදිග දක්වා විහිදේ. ගුවන් සේවය සතු නවීනතම Airbus A330-200/300 සහ A320/321 වර්ගයේ ගුවන් යානාවලින් සමන්විත පූර්ණ එයාර්බස් යානා ඇණියක් මේ සඳහා යොදවා ඇත.
වැඩි විස්තර සහ ගුවන් ගමන් වෙන්කරවා ගැනීම් සඳහා www.srilankan.com වෙත පිවිසෙන්න, නැතහොත් ශ්‍රීලංකන් ගුවන් සේවයේ නිල සමාජ මාධ්‍ය ගිණුම් වෙත පිවිසෙන්න.
Video Story