October, 21, 2026
2026 අගෝස්තු දක්වා කාලපරිච්ඡේදය තුළ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 171.8 ක සමුච්චිත ශුද්ධ විදේශීය ආයෝජන පිටතට ගලායාමක් කොළඹ කොටස් වෙළෙඳපොළෙන් වාර්තා වන බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි. ශ්රී ලංකා මහ බැංකුව විසින් ප්රකාශයට පත් කරන ලද මූල්ය ස්ථායීතා විවරණය 2026 වාර්තාවෙහි මේ බව දැක්වේ.
අදාළ වාර්තාවේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.
2026 වසරේ පළමු මාස අට තුළ කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ශුද්ධ විදේශීය ආයෝජන පිටතට ගලායෑම් වාර්තා විය. 2024 වසරේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 32.6ක සහ 2025 වසරේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 127.7ක ශුද්ධ විදේශීය ආයෝජන පිටතට ගලා යාම්වලින් අනතුරුව, 2026 වසරේ අගෝස්තු මස අවසානය වනවිට එක්සත් ජනපද ඩොලර් මිලියන 171.8 ක සමුච්චිත ශුද්ධ විදේශීය ආයෝජන පිටතට ගලායාමක් වාර්තා විය.
ප්රාථමික වෙළෙඳපොළ තුළ විදේශීය සහභාගීත්වය ද අඩු මට්ටමක පැවති අතර 2024 වසරේ එක්සත් ජනපද ඩොලර් මිලියන 65.5ක අගයට සහ 2025 වසරේ එක්සත් ජනපද ඩොලර් මිලියන 5.4ක අගයට සාපේක්ෂව සමාලෝචිත කාලපරිච්ඡේදයේ දී විදේශීය ප්රාග්ධන ලැබීම් එක්සත් ජනපද ඩොලර් මිලියන 2.9 කට සීමා විය. කොළඹ කොටස් වෙළෙඳපොළෙහි විදේශ ආයෝජකයින් සතු කොටස්වල මුළු වටිනාකම 2023 වසර අවසානයේ පැවති 24.9%ට, 2024 වසර අවසානයේ පැවති 17.6%ට සහ 2025 වසර අවසානයේ පැවති 17.8%ට සාපේක්ෂව 2026 වසරේ ජූලි මස අවසානය වනවිට 19.0%ක් ලෙස පැවතුණි.
දිගු කාලීන ආයෝජන ප්රවාහ ආකර්ෂණය කර ගැනීම කොටස් වෙළෙඳපොළ තුළ තිරසර වර්ධනයක් ළඟාකර ගැනීම සඳහා අත්යවශ්ය සාධකයක් ලෙස පවතී. ස්ථාවර සහ දිගුකාලීන විදේශීය ආයෝජකයින්ගේ සහභාගීත්වය වැඩි වීම මගින් වෙළෙඳපොළ ගැඹුර, මනා ද්රවශීලතාවක් සහිත සහ විවිධාංගීකරණ වූ ආයෝජක පදනමක් සහිත වෙළෙඳපොළක් ගොඩනැගීම සඳහා සහාය වන අතර, එමගින් දේශීය කොටස් වෙළෙඳපොළෙහි ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් වීම සහ වෙළෙඳපොළ සංවර්ධනයට සහාය වනු ඇත.
Video Story