2026 වසරේ අලුත් අවුරුදු “කැවිලි” මේසයේ පිරිවැය සියයට 7කින් ඉහළට

    April, 10, 2026

    2026 වසරේ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සාම්ප්‍රදායික කැවිලි මේසයක් පිළියෙල කිරීමේ පිරිවැය, පෙර වසරට (2025) සාපේක්ෂව සියයට 7කින් ඉහළ ගොස් ඇති අතර එය 2019 වසරේ පැවති මට්ටම මෙන් 2.5 ගුණයක වැඩිවීමකි.

    ශ්‍රී ලංකාවේ අලුත් අවුරුදු සැමරුම්වල සුවිශේෂී අංගයක් වන කැවිලි මේසය, සෞභාග්‍යය සහ සතුට සංකේතවත් කරන සාම්ප්‍රදායික රසකැවිලි එකතුවකින් සමන්විත වේ.

    2026 වසරේදී කැවිලි මේසයට ඇතුළත් වන අයිතම අටෙන් හයකම මිල ගණන් ඉහළ ගොස් ඇත. මෙහිදී වැඩිම මිල වැඩිවීමක් වාර්තා වූයේ අළුවා සඳහා වන අතර, එය 25.8% ක ප්‍රතිශතයකි. කජු මිල 43.6% කින් ඉහළ යාම මෙයට ප්‍රධාන වශයෙන් හේතු විය. මිල ගණන්වල කැපී පෙනෙන අඩුවීමක් වාර්තා වූයේ කිරිබත් සඳහා වන අතර, එය 14.1% ක පහත වැටීමකි.

    2025 වසරේ වාර්තා වූ ඉහළම මිල මට්ටම්වලට සාපේක්ෂව පොල් මිල 17.5% කින් අඩුවීම මෙයට මූලික වශයෙන් බලපා ඇත.

    තනි අයිතමවල මිල වෙනස්වීම්වලට අමතරව, 2026 වසරේ කැවිලි මේසයේ පිරිවැය සමස්තයක් ලෙස ඉහළ යාමට ප්‍රධාන වශයෙන්ම හේතු වූයේ පොල්තෙල් සහ සහල් පිටි මිල ඉහළ යාමයි. මුළු පිරිවැය වැඩිවීමෙන් 80% ක්ම නියෝජනය කරන්නේ එයයි..

    තවද, 2019 වසරට සාපේක්ෂව කැවිලි මේසයක පිරිවැය දෙගුණයකටත් වඩා වැඩි වී ඇත. එය 2025 වසරේදී 2.4 ගුණයක්ව පැවති අතර 2026 වසරේදී 2019 මට්ටම මෙන් 2.5 ගුණයක් දක්වා ඉහළ ගොස් ඇත (ප්‍රස්තාරය 1 බලන්න).

    ප්‍රස්තාරය  1: කාලයත් සමඟ කැවිලි වර්ගවල මිල වෙනස් වීම (මිල රුපියල්වලින්)

    සටහන:

    • නිවෙස් අනුව කැවිලි මේස වෙනස් වුවද, සාමාන්‍යයෙන් කිරිබත්, කොකිස්, කෙසෙල්, අලුවා, කැවුම්, දොදොල්, මුං කැවුම් සහ බටර් කේක් ඊට ඇතුළත් වේ.
    • මෙම විශ්ලේෂණය පුද්ගලයන් 4-5 දෙනෙකුගෙන් යුත් පවුලකට සරිලන පරිදි, ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් වන "අපේ අම්මා" (Appe Amma) හි වට්ටෝරු මත පදනම්ව සකසා ඇත.
    • පිරිවැය ගණනය කිරීම සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය පමණක් යොදාගෙන ඇති අතර, උපයෝගිතා පිරිවැය (විදුලිය හෝ ගෑස්) සහ කුළුබඩු ඇතුළත් කර නොමැත.

    මූලාශ්‍ර:

    මිල දත්ත: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව - කොළඹ දිස්ත්‍රික්කයේ විවෘත වෙළඳපොළ සතිපතා සාමාන්‍ය සිල්ලර මිල 2019 (අප්‍රේල් 1 වන සතිය), 2025 (මාර්තු 3 වන සතිය) සහ 2026 (මාර්තු 4 වන සතිය).