April, 10, 2026
මැද පෙරදිග ගැටුමෙන් ඇතිවී ඇති ගෝලීය බලපෑම් මධ්‍යයේ, පොහොර මිල දැඩි ලෙස ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආහාර මිල ඉහළ යාමේ පීඩනය නැවතත් වැඩි විය හැකි බව ආසියානු සංවර්ධන බැංකුව (ADB) අනතුරු අඟවා සිටී.
කොළඹ දී අද (10) පැවැති Asian Development Outlook – April 2026 වාර්තාව ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවේ දී අදහස් දක්වමින් ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට ජ්‍යෙෂ්ඨ අර්ථශාස්ත්රඥ Liliya Aleksanyan සඳහන් කළේ, විශේෂයෙන් පොහොර වැනි බලශක්ති නොවන භාණ්ඩවල මිල ගණන් පසුගිය කාලයේදී සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි.
“යූරියා මිල 50%කට වඩා වැඩි වී ඇති අතර, ඇමෝනියා මිල ද 40%කට ආසන්න ලෙස ඉහළ ගොස් තිබෙනවා. මෙම ද්‍රව්‍ය කෘෂිකාර්මික නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය වන ඒවා. මෙම පොහොර මිල වැඩිවීම හේතුවෙන් කෘෂිකාර්මික අංශයේ නිෂ්පාදන වියදම් ඉහළ යාමට ඉඩ ඇති අතර, මෙම ප්‍රවණතාවය දිගටම පැවතිහොත් ඉදිරි මාසවලදී අස්වැන්න අඩුවීමේ අවදානමක් ද ඇතිවිය හැකියි“, යනුවෙන් ඇය කියා සිටියාය. තවද පසුව එය දේශීය ආහාර මිල ඉහළ යාමට හේතු වී, වර්ෂයේ පසු භාගයේ දී උද්ධමනයට තවත් පීඩනයක් එක් කළ හැකි බව ද ඇය සඳහන් කළාය.
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් පසු යථා තත්ත්වයට පත් වෙමින් සිටින අවස්ථාවක මෙවැනි බාහිර කම්පන රටට විශාල අභියෝගයක් විය හැකි බව ද ඇය පෙන්වා දුන්නාය. ඊට අමතරව, ඉන්ධන මිල ඉහළ යාම සහ ගෝලීය මුල්‍ය තත්ත්වයන් දැඩි වීම වැනි අනෙකුත් අවදානම් ද උද්ධමන පීඩනය තවත් වැඩි කළ හැකි බව ඇය සඳහන් කළාය.
ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් වෙමින් සිටින මෙවැනි අවස්ථාවක, පොහොර මිල දිගටම ඉහළ මට්ටමේ පැවතිහොත් ආහාර මිල ස්ථාවරතාවය පවත්වා ගැනීම සහ සමස්ත ආර්ථික ස්ථායිතාවය රැක ගැනීම සදහා දැඩි අභියෝගයක් විය හැකි බව ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට ජ්‍යෙෂ්ඨ අර්ථශාස්ත්රඥ Liliya Aleksanyan වැඩිදුරටත් සඳහන් කරයි.
Video Story