හම්බන්තොට ජාත්‍යන්තර වරාය TEU බහාලුම් මෙහෙයුම් මිලියනයේ කඩඉම පසුකරයි

    October, 5, 2026

    2025 වසරේ දී නව quay cranes මාදිලියේ දොඹකර සේවයට එක් කර ගැනීමෙන් අනතුරුව හම්බන්තොට ජාත්‍යන්තර වරාය විසින් මේ දක්වා සිදුකර ඇති සමස්ත TEU බහාලුම් මෙහෙයුම් සංඛ්‍යාව මිලියනයේ සීමාව ඉක්මවා තිබේ.

    2026 වසරේ මේ දක්වා වරාය විසින් හසුරුවා ඇති TEU බහාලුම් ප්‍රමාණය 574,196ක් වේ. නිවේදනයක් නිකුත් කරමින් හම්බන්තොට වරාය ජාත්‍යන්තර සමාගම පවසන්නේ නව දොඹකර සේවයට පැමිණීමෙන් පසු 2025 වසරේ දී TEU බහාලුම් 428,036ක් හසුරුවා ඇති බවයි. ඒ අනුව මේ වන විට මෙහෙයුම් සිදුකර ඇති සමස්ත බහාලුම් සංඛ්‍යාව 1,002,232කි.

    ලොව සුපතළ නෞකා සමාගමක් වන MSC සමාගම, හම්බන්තොට වරායේ ප්‍රධාන සේවාදායකයා වේ. 2026 අප්‍රේල් මාසයේදී MSC Marie Leslie නෞකාව වරායට පැමිණි අවස්ථාවේදී බහාලුම් මෙහෙයුම් 7,968 ක් (TEU 13,260 කට සමාන) සිදු කරමින් තනි නෞකාවක් සඳහා වූ නව මෙහෙයුම් වාර්තාවක් තැබීමට හම්බන්තොට වරාය සමත් වී ඇත.

    මේ අතර වාර්ෂික බහාලුම් මෙහෙයුම් ධාරිතාව TEU මිලියන දෙක දක්වා ඉහළ නැංවීමේ අරමුණින් හම්බන්තොට වරාය සමාගම විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 108 ක ආයෝජන වැඩසටහන යටතේ නව quay cranes වර්ගයේ දොඹකර 6 ක් සහ රබර් ටයර් සහිත ගැන්ට්‍රි දොඹකර (RTG cranes) 16 ක් ඇතුළත් 2027 පෙබරවාරි අග සිට සිය මෙහෙයුම් සඳහා එක්කර ගැනීමට සැලසුම් යොදා තිබේ.