October, 5, 2026
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ හත්වැනි සමාලෝචනය අවසන් කිරීම සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයට පැමිණ තිබේ. එම සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 345කට ආසන්න මූල්‍ය පහසුකමක් ලබාගැනීමට හැකි වනු ඇත. ඒ සමඟ ඇමරිකානු ඩොලර් බිලියන 2.7ක සම්පූර්ණ මූල්‍ය පහසුකමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට හිමිවේ.
නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරන්නේ මෙම කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව IMF විධායක මණ්ඩලයේ අනුමැතියට යටත් වන අතර, ඒ සඳහා වැඩසටහනේ පරාමිතීන්ට අනුකූලව 2027 අයවැය මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සහ බහුපාර්ශ්වික හවුල්කරුවන්ගේ මූල්‍ය දායකත්වයන් තහවුරු කිරීම හා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රමාණවත් ප්‍රගතියක් ලබා ඇති බව තක්සේරු කිරීම සඳහා වන මූල්‍ය සහතික සමාලෝචනය සම්පූර්ණ කිරීම අවශ්‍ය වන බවයි.
එසේම ශ්‍රී ලංකාව ආර්ථිකය අඛණ්ඩව එල්ල වූ විවිධ බාහිර කම්පන හමුවේ කැපී පෙනෙන ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර තිබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. 2026 වසරේ දෙවැනි කාර්තුවේදී ආර්ථික ක්‍රියාකාරකම් 4.2%කින් වර්ධනය වී ඇති බවත්, එය අඛණ්ඩව ශක්තිමත් ආර්ථික වර්ධනයක් වාර්තා වූ 11 වැනි කාර්තුව වන බවත් ඔවුන් තවදුරටත් සඳහන් කරයි.
7 වන සමාලෝචනයට අදාළ කාර්ය මණ්ඩල අනුමැතිය ලැබීම පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා සඳහන් කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාව විසින් අවධානයට ලක්කරනු ලබන කරුණු වන 2027 වසරේ අයවැය ඉදිරිපත් කිරීමට අදාළ කටයුතු, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු බහුපාර්ශ්වීය ආයතන මගින් රටේ විදෙස් සංචිත ඉහළ නංවා ගැනීමට අදාළ අරමුදල් සම්පාදන කටයුතු සහ ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු සාර්ථකව සිදුවෙමින් පවතින නිසා 7 වන සමාලෝචනය සඳහා විධායක සභාවේ අනුමැතිය නිසැක වශයෙන්ම ලැබෙනු ඇති බවයි.
එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සැප්තැම්බර් 10 වනදා සිට 23 වනදා දක්වා මෙරට සිදුකළ සංචාරයෙන් පසුව 7 වන සමාලෝචනය අසාර්ථක වනු ඇති බවට යම් මාධ්‍ය විසින් ජනතාව නොමඟ යවන ආකාරයේ වාර්තා පළ කර තිබූ බවද අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කරන ලදි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිවේදනය උපුටා දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීමට සමත් වුවත් මැදපෙරදිග යුද තත්ත්වය, ජාත්‍යන්තර වෙළඳ ප්‍රතිපත්ති හා එල්-නිනෝ තත්ත්වය හමුවේ ලෝකයේ අනෙකුත් රටවල් මුහුණ දෙන අවදානම ශ්‍රී ලංකාවටද බලපාන බවයි.
කෙසේ නමුත් විවිධ බාහිර කම්පනවලට මුහුණ දිය හැකි ලෙස ආර්ථිකය මේ වන විට ස්ථාවර කිරීමට හැකිව තිබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Video Story