2026 FIA නවෝත්පාදන අභියෝගතාවයේ දෙවන කලාපීය ජයග්‍රහණය ලංකා මෝටර් රථ සංගමය හිමිකර ගනී

    October, 2, 2026

     'AAC Mobility Lifeline' සහ 'Solar-Guard' ව්‍යාපෘති ජාත්‍යන්තර ඇගයීමට ලක්වෙයි

    ජාත්‍යන්තර මෝටර් රථ සම්මේලනය (FIA) විසින් පවත්වන ලද 2026 FIA නවෝත්පාදන අභියෝගතාවයේ දෙවන කලාපීය ජයග්‍රාහකයෙකු ලෙස ශ්‍රී ලංකාවේ ලංකා මෝටර් රථ සංගමය (AAC) තේරී පත්වී තිබෙනවා. දිට්වා සුළි කුණාටුටව ප්‍රතිචාර වශයෙන් ක්‍රියාත්මක කළ ‘AAC Mobility Lifeline’ සහ සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් වන ‘Solar-Guard’ යන ව්‍යාපෘති ද්විත්වය වෙනුවෙන් AAC වෙත මෙම සම්මානය හිමිවිය. FIA මෝටර් රථ කලාප හතර පුරා පිහිටි සාමාජික සංගම් ජාලය හරහා මාර්ග භාවිත කරන්නන් උදෙසා ක්‍රියාත්මක කෙරෙන විශිෂ්ටතම ගමනාගමන විසඳුම් ඇගයීම මෙම අභියෝගතාවයේ ප්‍රධාන අරමුණයි.

    ලෝකයේ මෝටර් රථ ක්‍රීඩාවේ පාලක මණ්ඩලය මෙන්ම ගෝලීය වශයෙන් ගමනාගමන සංවිධාන නියෝජනය කරන ප්‍රධාන සම්මේලනය වන ජාත්‍යන්තර මෝටර් රථ සම්මේලනය (FIA) විසින්, 2026 FIA නවෝත්පාදන අභියෝගතාවයේ දෙවන කලාපීය ජයග්‍රාහකයෙකු ලෙස ලංකා මෝටර් රථ සංගමය (AAC) නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. පිලිපීනයේ Boracay හි පැවැති FIA ආසියා පැසිෆික් සම්මේලනයේදී මෙම නිවේදනය සිදු කරන ලදී.

    2025 නොවැම්බර් මාසයේ ඇතිවූ දිට්වා සුළි කුණාටුව නිසා සිදුවූ ව්‍යසනය හමුවේ වහා ක්‍රියාත්මක වූ AAC, සිය පැය 24 පුරා ක්‍රියාත්මක ඇමතුම් මධ්‍යස්ථානය ජාතික මට්ටමේ ආපදා ගමනාගමන සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කළේය. හදිසි ඇමතුම් සංඛ්‍යාව 200% කින් ඉහළ ගිය එම අභියෝගාත්මක අවස්ථාවේදී, ගංවතුර සහ නායයෑම් සහිත ප්‍රදේශ හරහා ගමන් ගත් මාර්ග භාවිත කරන්නන්, මුදවා ගැනීමේ කණ්ඩායම් සහ අවතැන් වූවන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට AAC කටයුතු කළේය.

    සේවකයින් 60 දෙනෙකු, ස්වේච්ඡා සේවකයින් 135 කට වැඩි පිරිසක් සහ රථවාහන 50 ක් සමගින්, AAC හි අනුබද්ධිත ගරාජ 160 කට අධික සංඛ්‍යාවක් ද මෙහෙයුම් සඳහා සක්‍රීය කරගත් අතර, ආපදා අවස්ථාවකදී ජාතික මට්ටමේ අර්බුදවලට මුහුණදීමේ ශක්තිය සහ යථා තත්ත්වයට පත්වීම උදෙසා ප්‍රාදේශීය සහයෝගිතාවයේ ඇති වැදගත්කම මැනවින් තහවුරු කළේය.

    තම අඛණ්ඩ ප්‍රයත්නයන්හි තවත් පියවරක් ලෙස, දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වූවන් උදෙසා රජයේ Clean Sri Lanka ජාතික ප්‍රතිපත්තියට සහාය පළ කරමින්, ලංකා මෝටර් රථ සංගමය (AAC) විසින් ජනාධිපති අරමුදල වෙත රුපියල් මිලියන 25 ක මුදලක් පරිත්‍යාග කර ඇත.

    අවදානම් සහිත මාර්ගවල ගමන් ගන්නා රියදුරන්ගේ ආරක්ෂාව වෙනුවෙන් AAC විසින් 'Solar-Guard' පද්ධතිය හරහා ද සහය ලබා දෙන ලදී. මාර්ග සංවර්ධන අධිකාරිය හා එක්ව AAC විසින් නිර්මාණය කරන ලද මෙම සූර්ය බලශක්ති පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිය මගින් අධි අවදානම් සහිත ප්‍රදේශ සඳහා LED blinker lights පද්ධති හඳුන්වා දී ඇත.

    ජාතික විදුලිබල පද්ධතිය මත යැපීමකින් තොරව පරිසර හිතකාමී ලෙස පැය 24 පුරාම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන මෙම ආලෝක සංඥා, රියදුරන්ගේ අවධානය ඉහළ නංවමින් මාර්ග අනතුරු අවම කිරීමට විශාල දායකත්වයක් සපයයි.

    FIA හි සභාපති H.E. Mohammed Ben Sulayem මහතා ප්‍රකාශ කළේ: "මෙවර FIA නවෝත්පාදන අභියෝගතාවයේ දෙවන කලාපීය ජයග්‍රාහකයා ලෙස තේරී පත්වූ ලංකා මෝටර් රථ සංගමයට සහ එහි සභාපති ධම්මික අත්තිගල මහතාට තමාගේ උණුසුම් සුබ පැතුම් පිරිනමන බවයි. ආපදා අවස්ථාවකදී සිය සාමාජිකයන්ගේ සහායට අපගේ මෝටර් රථ සංගම් ඕනෑම මොහොතක ඉදිරිපත් වන බවත්, මාර්ගවල මිනිස් ජීවිත සුරැකීම උදෙසා ඔවුන් නිරන්තරයෙන් නවෝත්පාදනයේ යෙදෙන බව AAC හි මෙම ව්‍යාපෘති හරහා මැනවින් සනාථ කර තිබෙන බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.

    වාහන ගමනාගමනය සහ සංචාරක ව්‍යාපාරය පිළිබඳ FIA හි නියෝජ්‍ය සභාපති Tim Shearman මහතා පැවසුවේ, "අප ගෝලීය ජාලයක් වුවද, ලොව පුරා මාර්ග භාවිත කරන්නන්ගේ සුවිශේෂී අවශ්‍යතා හඳුනා ගැනීමට අපට උපකාරී වන්නේ අපගේ මෝටර් රථ සංගම් සතු ප්‍රාදේශීය දැනුම බවයි. ඒ පිළිබදව වැඩිදුර අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, ලංකා මෝටර් රථ සංගමය විසින් නිර්මාණය කරන ලද මෙම ව්‍යාපෘති ද්විත්වය මගින් ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ යථාර්ථය සහ මාර්ග භාවිත කරන්නන්ගේ අවශ්‍යතා පිළිබඳව ඔවුන් සතු මනා අවබෝධය මෙන්ම, එදිනෙදා මෙන්ම අර්බුදකාරී අවස්ථාවලදී පවා පාර්ශවකරුවන් හා එක්ව කටයුතු කරන ආකාරය පැහැදිලි වන බවයි.

    FIA හි දෙවන කලාපීය සභාපති Augustus ‘Joe’ Ferreria මහතා අදහස් දක්වමින් කියා සිටියේ, අතිශය අයහපත් කාලගුණික තත්ත්වයන් හමුවේ, අපට කල්තියා සැලසුම් කළ නොහැකි යම් යම් කරුණු තිබිය හැකි නමුත්, අප ඊට ප්‍රතිචාර දක්වන ආකාරය ඉතා තීරණාත්මක බවයි. අපගේ කණ්ඩායම්වල ශක්තිය සහ පාර්ශවකරුවන්ගේ කුසලතාවන් එකට ඒකාබද්ධ කරමින් අර්බුදයකදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව AAC විසින් දෙවන කලාපයේ මෙන්ම සමස්ත FIA ජාලයේම සාමාජික සංගම් වෙත විශිෂ්ට ආදර්ශයක් සපයා තිබෙනවා.

    ලංකා මෝටර් රථ සංගමයේ සභාපති ධම්මික අත්තිගල මහතා අදහස් දක්වමින් කියා සිටියේ, ගෝලීය වශයෙන් අයහපත් කාලගුණික බලපෑම් වැඩි වෙමින් පවතින පසුබිමක, අපගේ කැපවූ කණ්ඩායම සහ ශක්තිමත් සම්බන්ධීකරණ ජාලය හරහා ආපදා අවස්ථාවලදී රට පුරා සිටින මාර්ග භාවිත කරන්නන්ට සහාය වීමට අපට හැකිවූ අතර Solar-Guard වැනි පූර්ව ආරක්ෂණ ව්‍යාපෘති ඔස්සේ රියදුරන් දැනුවත් කරමින් අනතුරු වළක්වා ගැනීමටත්, මාර්ගයේ ඇති අවදානම් අවම කිරීමටත් අප නිරන්තරයෙන් කටයුතු කරන බවයි.

    මෙවර දෙවන කලාපීය ජයග්‍රහණය උදෙසා ලංකා මෝටර් රථ සංගමය සමගින් ඕස්ට්‍රේලියානු මෝටර් රථ සංගමයට අයත් වික්ටෝරියා රාජකීය මෝටර් රථ සංගමය (RACV, Australia) ද සුදුසුකම් ලබා ඇත.

    මෙම ජයග්‍රාහකයින් අතුරින් අවසාන ගෝලීය ජයග්‍රාහකයා තේරීම ජාත්‍යන්තර විනිශ්චය මණ්ඩලයක් විසින් සිදු කරනු ලබන අතර, එම සම්මාන ප්‍රදානය ලබන දෙසැම්බර් මාසයේදී චීනයේ ෂැංහායි නුවර FIA General Assemblies week හීදී පැවැත්වීමට නියමිතයි.

    තෙවන වසරටත් පවත්වනු ලබන FIA නවෝත්පාදන අභියෝගතාවය හරහා දෙවන කලාපයේ (Region II) සාමාජික සංගම්, වඩාත් ආරක්ෂිත, තිරසාර සහ ඵලදායී ප්‍රවාහන විසඳුම් ලබා දීමේදී සිය නායකත්වය සහ නවෝත්පාදන හැකියාවන් නිරන්තරයෙන් තහවුරු කර ඇත.

    මාධ්‍ය විමසීම් සඳහා සම්බන්ධ කරගන්න: