21 වෙනි සියවස දැනුම කේන්ද්‍රික ශත වර්ෂයක්. ඊට මුහුණ දීමට අධ්‍යාපනයට විශාල ආයෝජනයක් සිදුකළ යුතුයි – ගෝඨා

    September, 9, 2019

    21 වෙනි සියවස හඳුන්වනු ලබන්නේ දැනුම කේන්ද්‍රික ශත වර්ෂයක් ලෙසත්, තාක්ෂණික දැනුම මුල් කර ගත් 21 වෙනි ශත වර්ෂයට මුහුණ දීමට අධ්‍යාපන ක්‍රමයේ සහ ඊට ඇති පහසුකම් දියුණු කිරීම සඳහා විශාල ආයෝජනයක් සිදුකළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඊයේ (08) සන්ධ්‍යාවේ කොළඹ දී පැවති වියත්මග වාර්ෂික සම්මේලනය අමතමින් ඔහු මේ බව කියාසිටියේය.

    මෙම අවස්ථාව සඳහා විද්වතුන්, වෘත්තිකයින්, කලාකරුවන්, ව්‍යාපාරිකයින් ඇතළු විශාල පිරිසක් එක්ව සිටියහ.

    මෙහිදී සම්මේලනය අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.

    “රටේ පවතින බොහෝ ප්‍රශ්නවලට විසඳුම වෙන්නෙත් ආර්ථික සංවර්ධනය. අපට අවශ්‍යව තියෙන්නේ ජනතා කේන්ද්‍රීය සංවර්ධනයක්. අනාගත වෙළෙඳපොළ තිබෙන්නේ මේ ආසියානු කලාපය තුළ බව අපත් හඳුනාගෙන, අපේ ව්‍යවසායකයන් ඒ වෙළෙඳපොළවල් සොයායාමට අප උනන්දු කරන්නට ඕනේ.“

    “21 වෙනි සියවස හඳුන්වන්නේ දැනුම කේන්ද්‍රික ශත වර්ෂයක් ලෙසයි. තාක්ෂණික දැනුම මුල් කර ගත් 21 වෙනි ශත වර්ෂයට මුහුණ දීමට නම් අපේ අධ්‍යාපන ක්‍රමයේ සහ අපට ඇති පහසුකම් දියුණු කිරීම සඳහා අපි විශාල ආයෝජනයක් කරන්න ඕනේ.“

    “වනරක්ෂණය, වෙරළරක්ෂණය, කසළ කළමනාකරණය, බලශක්ති කළමනාකරණය, ශබ්ද කළමනාකරණය වැනි පාරිසරික වගකීම් ජාතික ප්‍රතිපත්තිවලට ඇතුළත් කරන්නටත්, පරිසර කළමනාකරණයේ වැදගත්කම ජනතාවට නිරතුරුව දැනුවත් කරන්නටත් අපි කටයුතු කළ යුතුයි.“

    “කාලීන ජාතික අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි ව්‍යවස්ථා සංශෝධනය, යල්පැන ගිය නීතිරීති යාත්කාලීන කිරීම, මැතිවරණ නීතිවල වෙනස්කම් වැනි කටයුතු රාශියක් අප ඉදිරියේ තිබෙනවා.“

    “එක රටක් තුළ ක්‍රියාත්මක විය හැක්කේ එක නීතියක් පමණයි. නීතිය සැමට සමානව ක්‍රියාත්මක කළ යුතුයි.“

    “රජය භාරගත්තාට පසුව පරිපාලන කටයුතුවල දී දේශපාලඥයින් බෙහෙවින් ප්‍රවේශම් විය යුතුයි. උගත්, දක්ෂ, විෂය දැනුමෙන් සම්පූර්ණ පරිපාලකයන් පිරිසකගේ සහාය ලබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා.“

    “මෙය සිදුනොවන සෑම අවස්ථාවකම අවසන් ප්‍රතිඵලය අසාර්ථක වෙන්නට පුළුවන්.“