භාණ්ඩාගාර බිල්පත් පොළිය තවදුරටත් පහළට

    August, 9, 2017

    අද (09)දින ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් කැඳවා තිබූ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොළී අනුපාතවල තවදුරටත් පහළ යාමක් වාර්තා වී තිබේ.

    මේ අනුව දින 91 බිල්පත් පොළිය 9.03% සිට 8.87% දක්වා ද, දින 182 බිල්පත් පොළිය 9.16% සිට 9.02% දක්වා ද, දින 364 බිල්පත් පොළිය 9.48% සිට 9.38% දක්වා ද පහළ ගොස් ඇත.

    අද වෙන්දේසිය සඳහා රුපියල් මිලියන 30,000 ක වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බිල්පත් ඉදිරිපත් කර තිබූ අතර එහිදී රුපියල් මිලියන 29,757 ක බිල්පත් සඳහා ලැබුණු ලංසු අනුමත කර ඇත.

    එහිදී දින 91 බිල්පත් රුපියල් මිලියන 2,000 ක්, දින 182 බිල්පත් රුපියල් මිලියන 15,000 ක් හා දින 364 බිල්පත් 12,767 ක් වශයෙන් ලංසු භාර ගෙන තිබේ.

    පසුගිය සතියේ පැවති බිල්පත් වෙන්දේසියේ දීද පොළී අනුපාතිකවල කැපී පෙනෙන පහළ යාමක් වාර්තා වූ අතර එහිදී දින 91 බිල්පත් පොළිය 9.44% සිට 9.03% දක්වා ද, දින 182 බිල්පත් පොළිය 9.71% සිට 9.16% දක්වා ද, දින 364 බිල්පත් පොළිය 9.99% සිට 9.48% දක්වා ද පහළ යන ලදී.

    2017 ජනවාරි 20 දින පැවති බිල්පත් වෙන්දේසියෙන් පසු දින 91 බිල්පත් සඳහා සියයට 9 ට අඩු පොළි අනුපාතිකයක් නියම වූ පළමු අවස්ථාව ලෙසින් ද අද දින වෙන්දේසිය හැඳින්විය හැකිය.