පාරිභෝගික අධිකාරියට නව සභාපතිවරයෙක්

    March, 11, 2019

    පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා ලෙස ලලිත් සේනවීර මහතා පත්කර කර තිබේ. කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූවන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා විසින් මෙම පත් කිරීම සිදුකර ඇත.

    පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා ලෙස පත්වූ ලලිත් සේනවීර මහතා යාපනය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු මෙන්ම, පශ්චාත් ගෞරව උපාධිධරයෙකුද වේ.

    ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද, එම ආයතනයේම ප්‍රධාන විධායක නිලධාරී ලෙසද, වසර 36ක් සේවය කර තිබේ. එමෙන්ම විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයේ යටතේ ඇති ආයතන 15කින් හොඳම අධ්‍යක්ෂ ජනරාල්වරයා 2013 සිට 2016 කාලයේදී තේරී පත්වීමට ඔහුට හැකි විය.

    තත්ත්ව කළමනාකරණය සහ කර්මාන්ත ක්‍ෂේත්‍රය නැංවීමට 1994 වසරේදී ISO 9000 ප්‍රමිති ක්‍රියාවලිය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට ද සේනවීර මහතා පුරෝගාමී විය. ප්‍රමිතිකරණයට දැක්වූ විශිෂ්ඨත්වය නිසා රටවල් 163ක සාමාජිකත්වය ඇති අන්තර්ජාතික ප්‍රමිති ආයතනයේ ISO ඩෙව්කෝ හි සභාපති ධූරයට පත්වූ පළමු ශ්‍රී ලාංකිකයා වන්නේද ඔහුයි.

    එංගලන්තයේ වරලත් තත්ත්ව ආයතනයේ වරලත් කළමණාකරණ වෘත්තීය සුදුසුකම ලබාගත් එකම ශ්‍රී ලාංකිකයාද වන ඔහු, ජර්මනියේ,කාබන් විමෝචනය අඩු කිරීම පිළිබඳව ලෝකය පිළිගත් ආයතන ඇගයීමේ එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සම්මුතියේ සංවර්ධන යාන්ත්‍රණය පිළිබඳ වරලත් විගණක විශේෂඥයෙකු ලෙස ද කටයුතු කර ඇත. එහිදී චීනය, ජපානය, කොරියාව,ආදී රටවල ආයතන විශ්ලේෂණය තුළින් දායක්තවය දී තිබේ.

    එමෙන්ම මෙරට විශ්වවිද්‍යාල රැසක පශ්චාත් ව්‍යාපාර කළමනාකරණ උපාධි පාඨාමාලා බාහිර කථිකාචාර්යයවරයෙකු ලෙස ද කටයුතු කරන ඔහු, තත්ත්ව කළමණාකරණය පිළිබඳ ග්‍රන්ථ 03ක් රචනා කර ඇත. පර්යේෂණාත්මක සහ ප්‍රමිතිය සම්බන්ධ ලේඛන රැසක් ද රචනා කර තිබේ.