77 සිට රුපියල බාල්දු වුණේ මෙහෙමයි

    September, 20, 2018

    එක්සත් ජනපද ඩොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුපියලේ අගය වේගයෙන් මේ වන විට පහළ වැටෙමින් තිබේ. ඊයේ (19) දිනයේ දී ඩොලරයේ විකුණුම් මිල රු. 167.00 සීමවා ද මේ අනුව ඉක්මවා ගියේය.

    1977 වසරේ දී ශ්‍රී ලංකාවට විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වා දුන් දා සිට වර්තමානය දක්වා, එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් ගෙවිය යුතු ක්‍රමයෙන් ඉහළ ගිය ආකාරය පිළිබඳ ප්‍රස්ථාර සටහනක් පහතින් දැක්වේ. මෙය ජාත්‍යන්තර විනිමය අනුපාතික නිරූපිත වෙබ් අඩවියකින් උපටා ගැනුණකි.

    මෙහිදී 1977 සිට එක් එක් රාජ්‍ය නායකයාගේ සමයේ දී ඩොලරයේ මිල වැඩි වූ ආකාරය හා වැඩි වූ ප්‍රතිශතය ප්‍රස්ථාරයට එකතු කොට ඇත.

    ඒ අනුව ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ සමයේ දී 350% කින් ඩොලරයක රුපියල් අගය ඉහළ ගොස් ඇති බව නිරූපණය වේ.

    ශ්‍රී ලංකාවට විවෘත ආර්ථිකය හඳුන්වා දුන් 1977 සැප්තැම්බර් මාසයේ සිට එම වසරේම නොවැම්බර් මැද භාගය වන විට මාස 2 ක් තුළ දී 120% කින් ඩොලරයේ රුපියල් අගය වැඩි වී ඇති බව පහත සටහනින් දැක්වේ. විශාල වශයෙන් ආනයනය සඳහා යොමු වීමෙන් ඩොලර් සඳහා ඇති ඉල්ලුම ඉහළ හමුවේ මෙම තත්ත්වය සිදු වී ඇත.

    1977 සිට විශාල වශයෙන් ආනයන රැඳියාවක් ඇති රටක් ලෙසින් ශ්‍රී ලංකාව නම් දරා තිබෙන නිසා ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල බාල්දු වීම නොහොත් අවප්‍රමාණය වීම අද වන විට සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ.

    මෙවැනි අවස්ථාවක දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු සංචිත වෙළෙඳපොළට මුදා හරිමින් රුපියල ස්ථාවර කිරීමට උත්සාහ කළ හැකි වුවද, එය දූරදර්ශී ක්‍රියාමාර්ගයක් නොවේ.

    කළ යුතු වන්නේ ශ්‍රී ලංකාව සතු ඩොලර් ප්‍රමාණය විදේශයන්ට ඇදී යාම අවම කිරීම සඳහා ආනයන හැකිතාක් පාලනය කිරීම හෝ ශ්‍රී ලංකාව තුළට වැඩි වශයෙන් ඩොලර් ගලා ඒම සඳහා අපනයන ඉහළ නැංවීම, විදෙස් ආයෝජන (ණය නොවේ) ඉහළ නැංවීම,  සංචාරක ආදායම් වැඩිකිරීම, විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ ඉහළ නැංවීමට කටයුතු කිරීම වැනි ක්‍රියාමාර්ග කරා යොමුවීමයි.

    ඉහත දෙවනුවට දක්වා ඇති කරුණු දිගුකාලීන සැලසුම් අනුව ක්‍රියාත්මක කළ යුතු ඒවාය. එබැවින් වහාම කළ හැකි දේ නම් රටේ ආනයන රැඳියාව හැකිතාක් අවම කිරීමට පියවර ගැනීමයි.