ආලෝකා වැඩිහිටි නිවාසයෙන් තවත් සමාජ සත්කාර්යයක්

    December, 9, 2024

    දරුවන් ඉතාලියේ සිටින බව පැවසෙන වයස අවුරුදු 70ක පමණ වැඩිහිටියෙකුට දිවි ඇති තෙක් රැකවරණය දීමට ආලෝකා වැඩිහිටි නිවාසය පසුගියදා පියවර ගෙන තිබේ. ආලෝකා වැඩිහිටි නිවාසය පිහිටා ඇත්තේ පානදුර පිංවත්ත සද්ධර්මාකර පිරිවෙනට අයත් භූමි භාගයේය. මෙම වැඩිහිටි නිවාසයට අවුරුදු 13ක ඉතිහාසයක් ඇති අතර ආලෝකා මානව සංවර්ධන පදනම විසින් මානුෂීය හදවත් ඇති මිනිසුන්ගේ උපකාර මත එය පාලනය කරනු ලබයි.

    ආලෝකා මානව සංවර්ධන පදනමේ ප්‍රධාන පාලක පියල් ප්‍රනාන්දු මහතාට අනුව ආලෝකා වැඩිහිටි නිවාසයේ දැනට නේවාසිකයන් සියයක් පමණ සිටින අතර ඉන් හතළිස් දෙනෙක් පමණ ආබාධිතයන් ලෙස කාලය ගත කරති.

    පසුගියදා පානදුර දකුණ පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිතුමිය ආලෝකා වැඩිහිටි නිවාසයට පැමිණ මෙම අතරමං වූ වැඩිහිටි පුද්ගලයාව භාර ගන්නා ලෙස ඉල්ලීමක් කර ඇත. දැනට පවතින තත්ත්වය අනුව වැඩිහිටි නිවාසයේ ඉඩ පහසුකම් නොමැති වුවත් මානුෂීය හේතු මත එම වැඩිහිටි පුද්ගලයාව දිවි ඇති තෙක් රැක බලා ගැනීමට තමා මැදිහත් වී භාර ගත් බව එහි පාලක පියල් ප්‍රනාන්දු මහතා පැවසීය.