මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්රී ලංකාවේ ප්රථම Canal-Top Solar නියමු ව්යාපෘතිය ක්රියාත්මක කිරීම සඳහා අවශ්ය මූලික ශක්යතා අධ්යයන සහ ඉදිරි කටයුතු කඩිනමින් සිදු කිරීමට රජය අවධානය යොමු කර තිබේ.
ඒ සම්බන්ධයෙන් විශේෂ ප්රගති සමාලෝචන සාකච්ඡාවක් වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්ය සමන්ත විද්යාරත්න මහතා සහ බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා (09) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.
මෙම ව්යාපෘතිය සම්බන්ධයෙන් මූලික ක්ෂේත්ර නිරීක්ෂණයක් පසුගිය ජූලි 20 වන දින මහියංගනය වියානා ඇළ ආශ්රිතව සිදුකර තිබූ අතර, එහිදී හඳුනාගත් කරුණු සහ ව්යාපෘතිය ඉදිරියට ගෙන යාම සඳහා ගත යුතු පියවර පිළිබඳව පසුගියදා (09) පැවති සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.
සාමාන්යයෙන් භූමිය මත සූර්ය බලාගාරයක් ඉදිකිරීමේදී විශාල ඉඩම් ප්රමාණයක් අවශ්ය වන නමුත්, ඇළ මාර්ගයට ඉහළින් සූර්ය පැනල සවිකිරීම මගින් අමතර භූමි ප්රමාණයක් අත්පත් කර ගැනීමකින් තොරව පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතින බව වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්ය සමන්ත විද්යාරත්න මහතා පැවසීය.
“සූර්ය බලාගාරයක් පොළොව මත ඉදිකිරීමේදී විශාල ඉඩම් ප්රමාණයක් අවශ්ය වෙනවා. නමුත් ඇළ මාර්ගයට ඉහළින් සූර්ය පැනල සවිකිරීම හරහා ඒ සඳහා වෙනම ඉඩම් අවශ්යතාවක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා අපේ භූමිය ආරක්ෂා කරගනිමින් පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය කිරීමට මෙය වැදගත් අවස්ථාවක්.”
ශ්රී ලංකාවට මෙම තාක්ෂණය නව සංකල්පයක් වුවද, ලෝකයේ දියුණු රටවල් රැසක මේ වන විට ඇළ මාර්ග ආවරණය කරමින් සූර්ය පැනල සවිකර විදුලිය නිෂ්පාදනය කිරීමේ ව්යාපෘති ක්රියාත්මක වන බවත්. මෙම ව්යාපෘතිය ක්රියාත්මක කිරීමේදී පරිසරයට සිදුවිය හැකි බලපෑම් පිළිබඳව අවශ්ය පරිසර අධ්යයනයන් සිදු කිරීම මෙන්ම, ව්යාපෘතිය සඳහා අවශ්ය මූල්ය පහසුකම් සපයා ගැනීම පිළිබඳවද අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කරමින් පවතින බව අමාත්ය සමන්ත විද්යාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ ලෝකයේ රටවල් රැසක ඇළ මාර්ග මත සූර්ය පැනල සවිකර විදුලිය නිෂ්පාදනය කිරීමේ තාක්ෂණය මේ වන විට භාවිතයට ගෙන ඇති බවයි. ශ්රී ලංකාවට එය නව අත්දැකීමක් වුවද, අමාත්ය සමන්ත විද්යාරත්න මහතාගේ සංකල්පයක් අනුව මහියංගනය වියානා ඇළ සම්බන්ධයෙන් සිදුකළ මූලික අධ්යයනයෙන් අනතුරුව මෙම ව්යාපෘතිය ඉදිරියට ගෙන යාම සඳහා කටයුතු ආරම්භ කර ඇති බවද අමාත්යවරයා පැවසීය.
වියානා ඇළ කිලෝමීටර් 20කට අධික දිගකින් යුතු පුළුල් ඇළ මාර්ගයක් වන අතර, වසරේ වැඩි කාලයක් ප්රශස්ත සූර්යාලෝකයක් ලැබීම හේතුවෙන් මෙම ව්යාපෘතිය සඳහා සුදුසු ස්ථානයක් ලෙස හඳුනාගෙන තිබේ. ඒ අනුව, වියානා ඇළ ආශ්රිතව පළමු අදියර ලෙස මෙගාවොට් 05ක විදුලි ධාරිතාවක් ජනනය කිරීමේ නියමු ව්යාපෘතියක් ක්රියාත්මක කිරීමට යෝජිත අතර, එම ධාරිතාව ජනනය කිරීම සඳහා වියානා ඇළේ කිලෝමීටර් 05ක පමණ කොටසක් සූර්ය පැනල මගින් ආවරණය කිරීමට අවශ්ය වන බව ශ්රී ලංකා සුනිත්ය බලශක්ති අධිකාරිය විසින් හඳුනාගෙන තිබේ.
මෙම නියමු ව්යාපෘතියේ ශක්යතාව තහවුරු කිරීමෙන් අනතුරුව, වියානා ඇළේ පවතින සම්පූර්ණ දිග සහ අනෙකුත් සුදුසු ඇළ මාර්ගද මෙවැනි පුනර්ජනනීය බලශක්ති ව්යාපෘති සඳහා යොදාගැනීමේ හැකියාව පිළිබඳව ඉදිරියේදී අවධානය යොමු කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම සාකච්ඡාව සඳහා වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්ය සමන්ත විද්යාරත්න, බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක, බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී සුදත් බලගල්ල සහ රවින්ද්ර බණ්ඩාර මහතා යන අයද, ශ්රී ලංකා සුනිත්ය බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය විජේන්ද්ර බණ්ඩාර, ලංකා විදුලි බෙදාහැරීමේ සමාගම, වනජීවි දෙපාර්තමේන්තුව, ශ්රී ලංකා මහවැලි අධිකාරිය, මහජන උපයෝගිතා කොමිසම, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන රැසක නිලධාරින් සහභාගි වූහ.