සුවිශේෂී මූල්‍ය විසඳුම් තුළින් රථ වාහන ගැනුම්කරුවන් සවිබල ගැන්වීම වෙනුවෙන් HNB, UNIMO සමඟ උපායමාර්ගික හවුල්කාරීත්වයක

    December, 12, 2024

    ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව මෙරට රථ වාහන ගැනුම්කරුවන්ට ගැලපෙන ලීසිං විසඳුම් පිරිනැමීම වෙනුවෙන් යුනයිටඩ් මෝටර්ස්හි අනුබද්ධ UNIMO සමඟ හවුල්කාරීත්වය තවදුරටත් දීර්ඝ කර ඇත.

    HNB හි පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම, UNIMO සාමාන්‍යාධිකාරී ශලේන් ද සිල්වා යන මහත්වරුන් සමඟින් දෙපාර්ශවයෙහි ආයතනික කළමනාකාරීත්ව සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවති විශේෂ උත්සවයකදී මෙම ගිවිසුම් අලුත් කිරීම සිදු විය. තරඟකාරී මූල්‍ය අනුපාත, සැලකිය යුතු වට්ටම් හා අසමසම ප්‍රතිලාභ පාරිභෝගිකයින් වෙත ලබා දීමට මෙන්ම දැරිය හැකි මිලකට ඉතා පහසුවෙන් තමන්ගේ වාහන සිහිනය සැබෑ කර ගැනීමට මෙම හවුල්කාරීත්වය තුළින් හැකි වනු ඇත.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB හි පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම මහතා “ශ්‍රී ලංකාවේ වෙනස් වන ආර්ථික තත්වයන් පිළිබඳව අවධානය යොමු කරමින් අපගේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට අනුව නව්‍ය හා පහසු මූල්‍ය විසඳුම් ලබා දීමට HNB කැපවී කටයුතු කරනවා. වාහන ආනයන තහනම ලිහිල් කිරීමත් සමඟින් අලුත් වාහනයක් මිලදී ගැනීමේ අපේක්ෂාවෙන් සිටින සියලු දෙනාට කදිම අවස්ථාවන් නිර්මාණය වී තිබෙනවා. සුවිශේෂී ප්‍රතිලාභ, නම්‍යශීලී මූල්‍ය විසඳුම් සමඟින් රථවාහනයක් සඳහා විශ්වාසයෙන් යුතුව අයෝජනය කිරීමට UNIMO සමඟ වන අපගේ හවුල්කාරීත්වය පාරිභෝගිකයින් දිරිගන්වනු ඇතැයි අප අපේක්ෂා කරනවා.” යනුවෙන් පැවසුවේය.

    සුවිසල් ගනුදෙනුකාර පදනමකට උරුමකම් කියන ්‍යභඊ එම ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් ආකර්ෂණීය ලීසිං පහසුකම් රැසක් ඔවුන් වෙත හඳුන්වා දී ඇත්තේ රථ වාහන සිහිනය සැබෑ කර ගැනීමේ අවස්ථාව ඔවුන් වෙත උදා කරමිනි. ඔවුන්ගේ ආදායමට ගැලපෙන අයුරින් තරඟකාරී පොලී අනුපාතයන් යටතේ ලීසිං පහසුකම් ලබා දීමට කටයුතු කර ඇති HNB වෙතින් එම සේවාවන් ලබා ගන්නා පාරිභෝගිකයින් වෙත විශේෂ කාඩ්පත් පිරිනැමීම, රක්ෂණ වාරික වට්ටම් හා Prestige Prime කාඩ්පත හරහා ලබා ගත හැකි අමතර වරප්‍රසාද රැසක් ලබා ගැනීමට ද අවස්ථාව ඇත. ඊට අමතරව HNB General Insurance වෙතින් ලබා දෙන රුපියල් මිලියන 4.5ක වටිනාකමින් යුත් ජීවිත රක්ෂණ ආවරණයක් හා රුපියල් 600,000 ක ස්වාභාවික මරණ සඳහා වන රක්ෂණ ආවරණයක්ද ඔවුන් වෙත ලබා දෙයි.

    මෙම හවුල්කාරීත්වයේ කොටසක් ලෙස UNIMO එන්ටර්ප්‍රයිස් වෙතින් JMC ට්‍රක් රථ මිලදී ගැනීමේදී පාරිභෝගිකයින් සඳහා විකුණුම් මිලෙන් ඒකකයක් වෙනුවෙන් රුපියල් 50,000ක් මෙන්ම නොමිලේ වාහන ලියාපදිංචිය ඇතුලු පහසුකම් රැසක් ලබා දෙනු ඇත. ඒ සෑම මිලදී ගැනීමකදීම රථ වාහන සඳහා වසර 3ක හෝ කිලෝ මීටර් 100,000ක වගකීමක් පාරිභෝගිකයින් වෙත ලබා දීමට UNIMO එන්ටර්ප්‍රයිස් සූදානමින් සිටියි.

     

    ඡායාරූපය : HNB පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම (වමේ සිට පස්වැන්නා) සහ UNIMO Enterprises හි සාමාන්‍යාධිකාරී ශලේන් ද සිල්වා (වමේ සිට 6 වැන්නා) යන මහත්වරුන් අවබෝධතා ගිවිසුම් හුවමාරු කර ගනිමින්. HNB කණිෂ්ඨ අලෙවි සහකාර රවිඳු අබේරත්න, HNB ලීසිං - විධායක විරාජ් ද සිල්වා, HNB නිෂ්පාදන කළමනාකාර - ලීසිං මහේෂ් රත්නායක, HNB ලීසිං ප්‍රධානී උදාර පතිනායක, JMC සහකාර සාමාන්‍යාධිකාරී අවුරන්ග දිසානායක, සන්නාම කළමනාකාර ප්‍රමිත් රණතුංග සහ අලෙවි කළමනාකාර දර්ශන වික්‍රමනායක යන මහත්වරුන්ද ඡායාරූපයේ වේ.