ශ්‍රී ලංකා දේශීය විදේශ විනිමය වෙළඳ පොළෙහි ඉදිරි කටයුතු වැඩි දියුණු කිරීමට ආ විදේශ විනිමය පිළිබඳ ගෝලීය ප්‍රශස්ත භාවිත සංග්‍රහය

    December, 13, 2024

    2024 ජනවාරි මස ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ප්‍රතිපත්ති ප්‍රකාශයේ දක්වා ඇති පරිදි, ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව, සියලු ම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව ඇතුළත්, දේශීය විදේශ විනිමය වෙළඳ පොළ සාර්ථක ලෙස විදේශ විනිමය පිළිබඳ ගෝලීය ප්‍රශස්ත භාවිත සංග්‍රහයට අනුගත වීම සිදුවූ අතර, ඒ අනුව සමස්තයක් වශයෙන් දේශීය විදේශ විනිමය වෙළඳ පොළ සහභාගිවන්නන් ආචාර ධර්ම සහ ඵලදායී ක්‍රියාකාරීත්වය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා වන පොදු මාර්ගෝපදේශ මාලාවක් අනුගමනය කරනු ඇත. විදේශ විනිමය පිළිබඳ ගෝලීය ප්‍රශස්ත භාවිත සංග්‍රහය දේශීය විදේශ විනිමය වෙළඳ පොළ තුළ ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලිකත්වයෙන් සහ ශ්‍රී ලංකා විදේශ විනිමය සංගමයේ සහයෝගයෙන් ආරම්භ කළ ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් වන අතර, එය දේශීය විදේශ විනිමය වෙළඳ පොළෙහි සුවිශේෂී ප්‍රගතියක් සනිටුහන් කරයි.