IMF සාකච්ඡාවලින් ලැබුණේ මොනවාද? නි. ඇමති හර්ෂණගෙන් පිළිතුරු

    December, 17, 2024

    පසුගිය දා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර දී පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා සඳහා සහභාගී වීම තුළින් ශ්‍රී ලංකාවට ලැබුණු ප්‍රතිලාභ කවරේ දැයි විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද (17) දින පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරන ලදී.

    ඊට ප්‍රතිචාර දක්වමින් මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසුවේ මෙම සාකච්ඡා සඳහා සහභාගී වීම හරහා මෙතෙක් ලැබී ඇති සහ ඉදිරියේ දී ලැබෙන ඇතැයි බලාපොරොත්තු වන ප්‍රතිලාභ කිහිපයක් තිබෙන බවයි.

    ඒවා නම්,

    1. විස්තීර්ණ ණය පහසුකම යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාවේ සබඳතාවය තවදුරටත් ශක්තිමත් වීම.

    2. මූල්‍ය සහ තාක්ෂණික සහාය ලබා ගැනීම.

    3. ගෝලීය ආර්ථික ප්‍රවණතා සහ හොඳම භාවිතයන් සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති පෙළගැස්වීම.

    4. ශ්‍රී ලංකාවේ විශ්වාසනීයත්වය සහ ආයෝජකයන් තුළ විශ්වාසය ඉහළ නැංවීම.

    5. දිගු කාලීන ප්‍රතිලාභ බලාපොරොත්තු වීම.

    මේ අතර මෙම සාකච්ඡා zoom තාක්ෂණය හරහා පැවැත්වීමට අනුමැතිය ලැබී තිබිය දී අදාළ නිලධාරීන් වොෂින්ටන් නුවර වෙත ගියේ මන්දැයි යනුවෙන් චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා මතු කළ අතුරු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මෙසේ පැවසීය.

    “zoom මීටින් හරහා IMF ආයතනය සහ අනෙක් පාර්ශවකරුවන් සමඟ නිතිපතා සබඳතාවයන් පවතිනවා. ඒ සඳහා zoom තාක්ෂණය නිතිපතා යොදාගන්නවා. සමහරක් අවස්ථාවල දී සුමානයක් පාසා පවා ඇගයීම් වාර්තා පිළිබඳව සාකච්ඡා කෙරෙනවා. නමුත් මෙම සාකච්ඡා වටය තියෙන තීව්‍ර භාවය නිසා, සාකච්ඡා කිරීමට තියෙන ආයතන සංඛ්‍යාව වැඩි නිසා, දිනපතා සාකච්ඡා විශාල ප්‍රමාණයක් පැවැත්විය යුතු නිසා යනාදී කරුණු රාශියක් පදනම් කරගෙන තමයි IMF ආයතනය සහ ශ්‍රී ලංකා රජය අතර මේ එකඟතාවය අරගෙන තියෙන්නේ. වොෂිංටන් ගිහිල්ලා එක කොටසක් වොෂිංටන් තුළ දී සාකච්ඡා කරන්නත් අනෙක් කොටස සඳහා IMF ආයතනයේ නියෝජිතයන් ලංකාවට ඇවිල්ලා ඉතුරු සාකච්ඡාව කරන්නත්. ඒ එකඟතාවය මත තමයි මේ සාකච්ඡා වෙලා තියෙන්නේ.“