පොල් නිෂ්පාදනයේ දැවැන්ත පහළ යාමක්. පොල් වෙන්දේසියත් නවතී

    December, 17, 2024

    2024 සැප්තැම්බර් මාසයේ දී මෙරට පොල් නිෂ්පාදනය වාර්ෂික පදනම මත 17.8% කින් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    2024 නොවැම්බර් මාසයේ කෘෂිකාර්මික දත්ත විවරණිකාව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කරයි.

    එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ 2023 ජනවාරි - සැප්තැම්බර් කාලපරිච්ඡේදය තුළ මෙරට පොල් නිෂ්පාදනය 4% කින් පහළ ගොස් ඇති බවයි.

    එසේම මෙම වකවානුව තුළ මෙරට පොල් තෙල් නිෂ්පාදනය ද 33.2% කින් පහළ ගොස් ඇති බව මෙම වාර්තාවේ සඳහන් වේ.

    මේ අතර පොල් සංවර්ධන අධිකාරිය විසින් සතිපතා පවත්වනු ලබන පොල් වෙන්දේසිය ද පසුගිය සති දෙක තුළ පවත්වා නොමැති බව වාර්තා වේ. සතියේ සෑම බ්‍රහස්පතින්දා දිනයකම පෙරවරු 10.00 ට පොල් වෙන්දේසිය පැවැත්වෙන අතර අද දෙරණ Business වෙත වාර්තා වන්නේ පසුගිය සති කිහිපය තුළ ප්‍රමාණවත් පොල් තොග, වෙන්දේසිය සඳහා නොලැබීම හේතුවෙන් මෙලෙස පොල් වෙන්දේසිය පවත්වා නොමැති බවයි.