නිවැරදි තොරතුරු දිනවයි නිරතුරු

    December, 19, 2024

    නිවැරදි තොරතුරු පදනම් කරගනිමින් ගනු ලබන තීන්දු තීරණ හා සකස්කරනු ලබන ප්‍රතිපත්තීන් රටක දියුණුවේ අඩිතාලම වේ. ශ්‍රී  ලංකාවේ අධ්‍යාපන, සෞඛ්‍ය, ආර්ථික ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක සංවර්ධන කටයුතු සඳහා අවශ්‍යවන පහලම පරිපාලන මට්ටම දක්වා වූ තොරතුරු ලබා දෙන ප්‍රධානම මූලාශ්‍රය ජන හා නිවාස සංගණනය වේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව  විසින් වසර 10 කට වරක් සිදු කෙරෙන මෙම සංගණනය මේ දිනවල දිවයින පුරා සිදු කෙරෙමින් පවතී. මෙමඟින් ලබාදෙන තොරතුරු, ඉදිරි වසර දහයක් පුරා සිදුකෙරෙන සැළසුම් උදෙසා යොදා ගනු ලැබේ.

    දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පරිපාලනයේ සහයෝගය ඇතිව සිදුකරනු ලබන සංගණන කටයුතු වෙනුවෙන් මේ වන විට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය නිලධාරින්, උපාධිධාරීන් සහ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුලු 35,000 කට අධික පිරිසක් ගණන් ගැනීමේ නිලධාරින් වශයෙන් සංගණනයෙහි තොරතුරු රැස් කිරිම සඳහා සහභාගී කරනු ලැබ ඇත.

    සංගණන ආඥාපනත යටතේ සිදුකරනු ලබන මෙම සංගණනය සදහා ජනතාව විසින් ලබාදෙන සියලු තොරතුරුවල සුරක්ෂිතභාවය සහ රහස්‍යභාවය රැකීමට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඇතුළු සියලුම සංගණන නිලධාරීන් නීතිමය වශයෙන් බැඳී සිටී. එසේම ශ්‍රී ලංකාව තුල පදිංචි සියළුම පුද්ගලයින් සංගණනය සඳහා නිවැරදි තොරතුරු ලබා දීමට මෙම ආඥා පනත යටතේ නීතිමය වශයෙන් බැඳී සිටී.

    අප වෙනුවෙන්, අපගේ අනාගත පරපුර වෙනුවෙන් හා රටේ ඉදිරි සංවර්ධනය වෙනුවෙන් 2024 ජන හා නිවාස සංගණනයට නිවැරදි තොරතුරු ලබා දී ශ්‍රී ලාංකික පුරවැසි වගකීම ඉටු කිරීමට කටයුතු කරමු.