සමස්ත ලංකා Eva දැල්පන්දු තරඟාවලිය 2024/2025 සඳහා ලියාපදිංචිය ආරම්භ කෙරේ

    December, 20, 2024

    මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය ජාතික තලයකට රැගෙන ඒමේ අරමුණින්, අඛණ්ඩව 30 වන වරටත් සංවිධානය කරනු ලබන සමස්ත ලංකා විවෘත සහ පාසල් දැල්පන්දු තරඟාවලිය - 2024/2025 සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදනයක් වන Eva, සිය ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබා දෙන බව සාඩම්බරයෙන් නිවේදනය කරයි.

    බස්නාහිර පළාත් දැල්පන්දු සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම දීප ව්‍යාප්ත දැල්පන්දු තරගාවලිය 2025 වසරේ ජනවාරි 11 සහ 12 යන දිනයන්හි දී කොළඹ කොම්පඤ්ඤවීදීයේ පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

    ශ්‍රී ලංකා දැල්පන්දු ක්‍රීඩාව තුළ කැපී පෙනෙන ඉසව්වක් වන මෙම තරගාවලිය සඳහා ජාතික තලයකදී මෙන් උරෙනුර ගැටෙන දක්ෂතම දැල්පන්දු ක්‍රීඩකයින් රැසක් සහභාගී වනු ඇත.

    මෙම තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙපාර්ශවයම නියෝජනය කරනු අතර, තරඟකරුවන්ගෙන් සියයට 95ක්ම කාන්තා ක්‍රීඩිකාවන් වීම මෙහිදී කැපී පෙනෙන සුවිශේෂත්වයකි. එම නිසාම දිවයින පුරා සිටින මෙරට දැල්පන්දු ක්‍රීඩිකාවන්ගේ නිසඟ හැකියාවන් සහ ක්‍රීඩා කෞෂල්‍ය මනාව ප්‍රදර්ශනය කෙරෙන තරඟාවලියක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය.

    සමස්ත ලංකා Eva විවෘත දැල්පන්දු තරඟාවලිය, ක්‍රීඩා සමාජ, වෙළඳ සමාගම්, රාජ්‍ය ආයතන, බැංකු, විශ්ව විද්‍යාල සහ පාසල් (දේශීය සහ ජාත්‍යන්තර) යන ආයතනයන්ට අදාළ සියලු අනුබද්ධිත ක්‍රීඩා සංගම් සඳහා විවෘත වේ. මෙම තරඟාවලිය සඳහා සහභාගී වීමට බස්නාහිර පළාතේ සියලුම පාසල්වලට අවසර ලබා දී තිබෙන අතර, සෙසු පළාත්වල පාසල් සඳහා ඒ ඒ පළාත්හි අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ හෝ ක්‍රීඩා අධ්‍යක්ෂවරයාගේ අනුමැතිය සහිතව පිළිගැනීමට කටයුතු යොදා ඇත.

    විවෘත කාන්තා සහ විවෘත පිරිමි කාණ්ඩවලින් සමන්විත A කාණ්ඩය, කාන්තාවන සඳහා පමණක් විවෘත වන B කාණ්ඩය (සියලුම ජාතික ක්‍රීඩිකාවන් හැර), 40 ට වැඩි කාන්තාවන් සඳහා ප්‍රවීණයන්ගේ කාණ්ඩය සහ 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ ක්‍රීඩකයින් සඳහා පාසල් කාණ්ඩය යනාදී වශයෙන් මෙම තරඟාවලිය අංශ හතරකින් සමන්විත වේ. පාසල් කණ්ඩායම් සඳහා ප්‍රවේශ ගාස්තු අය නොකිරීමට සංවිධායකයින් තීරණය කර තිබේ.

    මෙම උත්කර්ෂවත් තරඟාවලිය සඳහා Eva අනුග්‍රහය දක්වන්නේ, දේශීය දක්ෂතාවන් සහිත ප්‍රජා සහභාගීත්වය තව තවත් වැඩිදියුණු කරමින්, ක්‍රියාශීලි සහ සෞඛ්‍ය සම්පන්න දිවියකට දිරිමත් කිරීමේ සිය උනන්දුව ඉස්මතු කරමිනි. වසර ගණනාවක් පුරාවට Eva සන්නාමය, විශේෂයෙන් කාන්තාවන්ගේ පෞද්ගලික සහ වෘත්තීමය භූමිකාවන්හි විශිෂ්ටත්වය රැක ගනිමින් කටයුතු කිරීම සඳහා ප්‍රබල දායකත්වයක් ලබා දී තිබේ.

    මෙම තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය ලබා දීම පිළිබඳ අදහස් දැක්වූ ICL Brands (Private) Limited හි ප්‍රධාන විධායක නිලධාරී රොනී චාකෝ මහතා “ දැල්පන්දු ක්‍රීඩාව කියන්නේ කණ්ඩායම් හැඟීම සමග මිශ්‍ර වූ නොපසුබස්නා උත්සාහයෙන් ක්‍රියා කළ යුතු ක්‍රීඩාවක්. කාන්තාවන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන අප ප්‍රජාවගේ අභිවෘද්ධිය උදෙසා නිරන්තරයෙන් කැප වී කටයුතු කරනවා. ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුනගේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව සලසා දීමේ පාර්ශ්වකරුවකු වීම පිළිබඳව ද අප ආඩම්බර වෙනවා”

    ICL Brands (Private) Limited යනු Capital Maharaja සමූහ ව්‍යාපාරය යටතට අයත් සමාගමක් වන අතර එය ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික සමාගම් සමූහයකි.

    මෙම හවුල්කාරීත්වය පිළිබඳ අදහස් දැක්වූ බස්නාහිර පළාත් දැල්පන්දු සංගමයේ සභාපති කැරිල් ටෝසර් මහත්මිය “ Eva සමස්ත ලංකා සහ විවෘත පාසල් දැල්පන්දු තරඟාවලිය අප සෑම වර්ෂයකම පවත්වන්නේ සෑම දරුවකුම විශිෂ්ට වූ ක්‍රීඩා ඉසව්වක් සඳහා ඉදිරිපත් කරවීමේ සමාන අවස්ථාවන් ඇති කිරීමේ අරමුණ ඇතිවයි. මෙහිදී ලීග් ක්‍රමයට සෑම කණ්ඩායමක්ම තරඟ වට කිහිපයක් ක්‍රීඩා කළ යුතු වන අතර, ජාතික මට්ටමේ තේරීම්කරුවන් විසින් තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතාවන් ඇගයීම් කරනු ලබයි. මේ වනවිට අභියෝග, දුෂ්කරතා මධ්‍යයේ වුවද Eva සන්නාමයෙහි නොසැලෙන කැපවීම සහ සහයෝගය මෙහිදී අප බෙහෙවින් අගය කරන අතර, මෙම තරඟාවලිය රටේ ජනප්‍රියතම තරඟාවලියක් බවය පරිවර්තනය වනු ඇත”

    ක්‍රීඩකයින් 12 දෙනෙකු සහ නිලධාරීන් 3 දෙනෙකු දක්වා වූ ඕනෑම කණ්ඩායමකට 2025 ජනවාරි 06 වැනි දිනට හෝ ඊට පෙර ඔවුනගේ ඇතුළත් කිරීම් ඉදිරිපත් කිරීමෙන් තරඟාවලියට සහභාගී වීමට අවස්ථාව උදා කර ඇත. තරඟාවලියේ ප්‍රවේශ පත්‍ර සහ වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා 076 1 717 286  ඔස්සේ තරඟාවලියේ ලේකම් නිමාලිකා තුෂාන්ති මහත්මිය ද, 077 7 216 150 ඔස්සේ බස්නාහිර පළාත් දැල්පන්දු සංගමයේ ලේකම් රියෝ රම්ලාන් මහත්මිය ද සම්බන්ධ කර ගත හැකිය.