විෂන් කෙයා අක්ෂිමිතික දිනය සාර්ථකව නිමා වෙයි

    June, 20, 2016

    විෂන් කෙයා ආයතනයේ දෘෂ්ඨි විශේෂඥයන් හට සිය දැනුම හා කුසලතා වර්ධනය කර ගැනීමේ අවස්ථාව හිමකර දීමේ අරමුණ පෙරදැරිව විෂන් කෙයා අධ්‍යාපන ආයතනය විසින් සංවිධානය කරන ලද දෘෂ්ටිමිතික දිනය ජුනි මස 12වන දින පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා ටාජ් සමුද්‍රා හෝටලයේ ග්‍රෑන්ඩ් ක්‍රිස්ටල් බෝල්රූම් හිදී සාර්ථකව නිමාවට පත් විය. "සැමට පෙනුම" තේමාව යටතේ පැවති අක්ෂි දිනය විද්‍යාත්මක සැසි කිහිපයකින් සමන්විත වූ අතර, විෂන් කෙයා ආයතනයේ සහ කලාපයේ වෘත්තිකයෝ රැසක් සිය විශේෂඥ දැනුම මෙහිදී බෙදාහදා ගත්හ.

    අඛණ්ඩව හත්වන වරටත් සංවිධානය කෙරුණු විෂන් කෙයා දෘෂ්ටිමිතික දිනය, සම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව ආරම්භ වූ අතර, ආධුනික අක්ෂි සාහයකවරුන් විසින් පිළිගැනීමේ නර්තනයක් ඉදිරිපත් කෙරිණි. විෂන් කෙයා අධ්‍යාපන ආයතනයේ විදුහල්පති විද්‍යා ජයරත්න මහතා පිළිගැනීමේ කතාව ඉදිරිපත් කළ අතර, අක්ෂි විශේෂඥ වෛද්‍ය මධුවන්ති දිසානායක මහත්මිය ප්‍රධාන දේශනය පැවැත්වූවාය.

    අමිල චන්ද්‍රසේකර විශිෂ්ටතම වාචික ඉදිරිපත් කිරීම වෙනුවෙන් ද, දුලාංජි ද සිල්වා විශිෂ්ටතම පෝස්ටර් ඉදිරිපත් කිරීම වෙනුවෙන් ද, බුද්ධිනී නෝනිස් විශිෂ්ටතම වාචික ඉදිරිපත් කිරීම (ශ්‍රවනවේද) වෙනුවෙන් ද, චූලාංග පෙරේරා නවෝත්පාදන අධ්‍යයනය වෙනුවෙන් ද කල්ප මධුශාන් සහ ඕෂධී පීරිස් වසරේ ඉදිරිපත් ලෙස ද සම්මාන දිනා ගත්හ.

    "වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම උළෙල මගින් අපගේ සිසුන්ගේ සායනික සහ විද්‍යාත්මක දැනුම තවදුරටත් වර්ධනය කර ගැනීමේ අවස්ථාව හිමි වනවා. ඊට අමතරව, පර්යේෂණයක් හෝ පෝස්ටරයක් මගින් අන්තර් ක්‍රියාකාරී ලෙස දැනුම බෙදාහදා ගැනීමට ද ඔවුන්ට හැකි වනවා. අපගේ තරුණ දෘෂ්ටි විශේෂඥ බලකාය මෙම වැඩසටහන සඳහා ක්‍රියාකාරීව සහභාගීවනු දැකීම සැබවින්ම සතුටට කාරණයක්. අනාගතයේදී මෙම වැඩසටහන තවත් පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇතැයි අපගේ බලාපොරොත්තුව." විෂන් කෙයා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී දසන්ත ෆොන්සේකා මහතා සඳහන් කළේය.

    එක්සත් රාජධානියේ කාඩිෆ් සරසවියේ අක්ෂි සහ දෘෂ්ඨිමිතික විද්‍යා පාසලේ පශ්චාද් ශික්ෂණ වැඩසටහන් අධ්‍යක්ෂ ආචාර්ය බාබරා රයන් මහත්මිය උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස උළෙලට සහභාගී වූ අතර, අක්ෂි විශේෂඥ ශල්‍ය වෛද්‍ය චම්පා බානගල මහත්මිය විශේෂ ආරාධිත ලෙස ඊට සහභාගී වූවාය. දෘෂ්ටි විශේෂඥ ඩිප්ලෝමාව, දෘෂ්ටි විශේෂඥ සහායක, ශ්‍රවන තාක්ෂණවේදී සහ ශ්‍රවන උපකරණ විශේෂඥ පාඨමාලා සාර්ථකව අවසන් කළ සිසුන් හට සහතිකපත් ප්‍රදානය මගින් උළෙලේ සමාරම්භය සනිටුහන් විය.

    "බොහෝ විට පෙනීම සම්බන්ධ ගැටළු පළමුව ඉදිරිපත් කෙරෙන්නේ දෘෂ්ඨි විශේෂඥයන්වන අපටයි. අභියෝගාත්මක අවස්ථාවලදී භාවිතා කළ හැකි විශිෂ්ටතම විසඳුම් ලබා ගැනීම සඳහා නවතම දැනුම සහ තාක්ෂණය බෙදාහදා ගැනීමට මෙම වැඩසටහන මගින් අවස්ථාව සලසා දී තිබෙනවා. අද දින පැවති විද්‍යාත්මක සැසිය ක්ෂේත්‍රයේ නවතම තාක්ෂණය සහ නවෝත්පාදන පිළිබඳ දැනුම ලබා ගැනීමට බෙහෙවින් උපකාරී වනු ඇතැයි මාගේ විශ්වාසයයි." 2016 දෘෂ්ටිමිතික දිනයේ සභාපති චුලංග පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

    "විශේෂ පරික්ෂා සහ ජෛවමිතිය", "ඇස් වපර වීම් සහ පෙනීම දුර්වල වීම", "සිවි කාච". "ශ්‍රවන පරික්ෂා" ලෙස විද්‍යාත්මක සැසි මෙහිදී පැවැත්විණි. මේ පිළිබඳ විද්‍යාත්මක වාර්තා ඉදිරිපත් කර අත්දැකීම් බහුල වෘත්තිකයන් සහ වෛද්‍යවරුන්ගෙන් ඊට අදාළ ප්‍රතිපෝෂණය සහ විසඳුම් ලබා ගැනීමට සිසුන්ට හැකි විය.

    විෂන් කෙයා අධ්‍යාපන ආයතනයේ විශේෂ උපදේශිකා සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අක්ෂි විශේෂඥ ශල්‍ය වෛද්‍ය මධුවන්ති දිසානායක මහත්මිය සඳහන් කෙළේ, විෂන් කෙයා සමාගම වසර ගණනක පටන් ජාත්‍යන්තර මට්ටමින් මෙරට දෘෂ්ඨි විශේෂඥ ක්ෂේත්‍රයට පිවිසෙන සිසුන් දැනුමින් පෝෂණය කිරීම සඳහා පුරෝගාමී මෙහෙවරක් සිදු කරන බවය."ක්ෂේත්‍රයේ පිරිස සමග පර්යේෂණ පිළිබඳ සාකච්ඡා කිරීමටත්, අදහස් සහ නව තොරතුරු හුවමාරු කර ගැනීමටත් මෙය ඉතා අගනා අවස්ථාවක් ලෙස හැඳින්විය හැකියි."

    අපූරු නර්තනාංගයකින්, විනිශ්චය මණ්ඩල කතාවකින් සහ සම්මාන ප්‍රදානයකින් සමන්විත වූ මෙම උළෙලේදී විෂන් කෙයා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී දසන්ත ෆොන්සේකා මහතා ද අදහස් පළ කළ අතර විෂන් කෙයා අධ්‍යාපන ආයතනයේ පරීක්ෂා සහ අධ්‍යයන අධ්‍යක්ෂ කුමාරි ෆොන්සේකා මහත්මිය ස්තුති කතාව ඉදිරිපත් කළාය. විශිෂ්ටතම වාචික පෝස්ටරය, විශිෂ්ටතම කඩදාසි පෝස්ටරය, වඩාත් නව්‍යකරණ අධ්‍යයනය, පෝස්ටර් සඳහා නැගී එන ඉදිරිපත්කරු සඳහා මෙහිදී සම්මාන ප්‍රදානය කෙරිණි.

    2008 වසරේ අප්‍රේල් මාසයේදී ආරම්භ කෙරුණු විෂන් කෙයාර් ඇකඩමිය, මේවන විට මනා පුහුණුව ලත් දෘෂ්ඨි විශේෂඥයන් රැසක් මෙරටට දායාද කර ඇත. විෂන් කෙයා අධ්‍යාපන ආයතනය දෘෂ්ඨි විශේෂඥ ඩිප්ලෝමා, දෘෂ්ඨි විශේෂඥ සහායක සහතිකපත් පාඨමාලාව, ඖෂධවේද සහතිකපත් පාඨමාලාව, ශ්‍රවන තාක්ෂණවේදී සහ ශ්‍රවන උපකරණ විශේෂඥ සහතිකපත් පාඨමාලාව සඳහා විශේෂිත එක් අවුරුදු වැඩසටහනක් ක්‍රියාත්මක කරන අතර දේශීය හෝ විදේශීය විශ්වවිද්‍යාල සහ ආයතන සමග සම්බන්ධව දෘෂ්ඨි විශේෂඥ උපාධි වැඩසටහනක් ආරම්භ කිරීමට ද සැලසුම් කර ඇත.

    වේගයෙන් වෙනස්වන පාරිභෝගික අවශ්‍යතාවන්ට අනුකූලවන ලෙස නව්‍ය තාක්ෂණය තුළින් අසමසම අක්ෂි සහ ශ්‍රව්‍ය විසඳුම් ලබා දීම වෙනුවෙන් වසර ගණනක විශ්වාසය හිමිකර ගත් විෂන් කෙයා සමාගම, නවීන උපකරණ සහ අක්ෂි පරීක්ෂකවරුන්ගේ විශේෂඥ දැනුම තුළින් වඩාත් විශ්වසනීය සේවාවක් පාරිභෝගික ජනතාව වෙත හිමිකර දෙයි. කොළඹ 07 පිහිටි සිය ප්‍රධාන සේවා මධ්‍යස්ථානය සහ ප්‍රදර්ශනාගාරය ඇතුළු දිවයින පුරා පිහිටි ශාඛා 34 කට අධික සංඛ්‍යාවක් ඔස්සේ පාරිභෝගික ජනතාව වෙත වඩාත් පහසුවෙන් ළඟා වීමට විෂන් කෙයා සමාගම සමත්ව සිටී.