December, 27, 2024
සර්ෆින් ක්‍රීඩාව හේතුවෙන් ආරුගම්බේ සහ පොතුවිල් ප්‍රදේශ, ඊශ්‍රායල ජාතිකයින් අතර වඩාත් ජනප්‍රියත්වයට පත්ව ඇති අතර එම ප්‍රදේශයට එන ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කර ගනිමින් කිසියම් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බව පසුගිය ඔක්තෝබර් 23 වැනිදා අනාවරණය විය.
ඒ ආරුගම්බේ ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල විය හැකි බව පවසමින්, එක්සත් ජනපදය විසින් සිය පුරවැසියන්ට සංචාරක උපදේශනයක් නිකුත් කරමින් අනතුරු ඇඟවීමක් සිදු කිරීමත් සමඟයි.
මේ සමඟම කතාබහක් ඇතිවූයේ අදාළ සිදුවීම හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයට අහිතකර බලපෑමක් ඇතිවිය හැකි බවයි.
නමුත් සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත වාර්තාවලට අනුව පෙනී ගියේ එම සිදු වීම මෙරට සංචාරක කර්මාන්තයට හෝ ඊශ්‍රායල ජාතිකයන්ගේ පැමීණීමට බලපෑමක් එල්ල කර නොමැති බවයි.
කෙසේවෙතත් මේ හේතුවෙන් ඔක්තෝම්බර් මාසයේ මෙරටට පැමිණි 1,398ක ඊශ්‍රායල සංචාරකයින් ප්‍රමාණයට සාපේක්ෂව නොවැම්බර් මාසයේ දී ඊශ්‍රායල සංචාරකයින්ගේ පැමිණීමෙහි කිසියම් පහල යාමක් පෙන්නුම් කරමින් 878 ක ඊශ්‍රායල සංචාරකයින් පිරිසක් පමණක් මෙරටට පැමිණ තිබුණ ද දෙසැම්බර් මාසයේ දී එය යළිත් පෙර තත්ත්වයට පත්ව ඇති බව නිරීක්ෂණය කළ හැකිව ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ 2024 දෙසැම්බර් මාසයේ ගත වූ පළමු දින 25 තුළ දී 1,675ක ඊශ්‍රායල සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බවයි.
මේ අතර 2024 දෙසැම්බර් මාසයේ පළමු දින 25 තුළ පමණක් සංචාරකයින් 191,465 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තාව මගින් පෙන්වා දී ඇත.
දෙසැම්බර් මාසය තුළ ඉහළ සංචාරක පැමිණීමක් නිරීක්ෂණය කළ හැකි අතර මෙම මාසයේ මේ දක්වා වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි දිනය ලෙස දෙසැම්බර් 23 වනදා සංචාරකයින් 11,284ක් මෙරටට පැමිණ ඇති බව අදාළ සංඛ්‍යාලේඛන වැඩිදුරටත් පෙන්වා දේ.
දෙසැම්බර් මාසයේ පළමු දින 25 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව දැක්වෙනුයේ 42,340 ලෙසයි.
මීට අමතරව රුසියාවෙන් සංචාරකයින් 26,853ක්, එක්සත් රාජධානියෙන් 14,316ක්, ජර්මනියෙන් 11,189ක් ලෙස දෙසැම්බර් මාසයේ ගත වූ පළමු දින 25 තුළ වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.
තව ද, 2018 වසරින් පසු ප්‍රථම වරට වැඩිම සංචාරක පැමිණීමක් වාර්තා කරමින් මෙරට සංචාරක පැමිණීම මිලියන 2 සීමාව ඉක්ම වීමට ද ඊයේ (26) දිනයේ දී සමත් වූ බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසා සිටියේය.
Video Story