මීළඟ ඉලක්කය BBB විය යුතුයි – මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ

    December, 27, 2024

    ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ප්‍රධාන ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය සිය නවතම ශ්‍රේණිගත කිරීම නිකුත් කරමින් පසුගිය දා සඳහන් කරේ ශ්‍රි ලංකාව RD මට්ටමේ සිට, CCC+ මට්ටම දක්වා පැමිණ ඇති බවයි.

    අද ( 27) "අද දෙරණ BIG FOCUS" වැඩ සටහනට එක් වෙමින් මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසා සිටියේ වර්තමාණයේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දැමීම තුළ මේ වන විට ශ්‍රී ලංකාව පැමිණ ඇති මට්ටමේ සිට ඉදරියට යෑම මෙරටට ඇති ප්‍රධානතම අභියෝගය බවයි.

    ඔහු පෙන්වා දෙන්නේ දැනට ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීමේ සිටින CCC+ මට්ටමේ සිට BBB මට්ටම දක්වාවත් ඉහළ නංවා ගත යුතු බවයි.

    එය ඉදිරියේ දී මෙරටට නැවත වරක් ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොලේ ණය ලබා ගැනීමේ දී මුහුණ දීමට සිදු වන පොලී අනුපාතිකය පහළට ගෙන ඒම සඳහා උපකාර වන බව මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා වැඩි දුරටත් පවසා සිටියේය.

    "මෙතැන් සිට ඉදිරියට යෑම තමයි දැන් තියන ප්‍රධානම අභියෝගය. මොකද දැන් අපි ඉන්න CCC PLUS කියන තැන ඉදලා ඉදිරියට යා යුතු වෙනවා. මේක අඩු ගානේ BBB දක්වාවත් අපි ඉහළට නංවාගත යුතු වෙනවා. ඉදිරියේ දී අපිට ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොලේ නැවත වරක් ණය ලබා ගන්න සිද්ධ වෙනවා. ඒ ණය ලබා ගැනීමේ දී මුහුණ දෙන, අපි කියනවා පොලී අනුපාතිකය පහළට ගෙන ඒමට නම්, ලංකාව ණය ශ්‍රේණිගත කිරීම් තත්ත්වයේ ඉහළ දමා ගත යුතුයි. ඒ ඉහළ දමා ගැනීම අපිට හැකියාව ලැබෙන්න විශේෂයෙන්ම රාජ්‍ය මූල්‍ය විනය, රාජ්‍ය මූල්‍ය තත්ත්වය යහපත් වෙන්න ඕන. ආර්ථික වර්ධනය, කාර්ය සාධනය යහපත් වෙන්න ඕන. ඒ නිසා මම හිතන්නේ මෙතන ඉදලා ඉදිරියට අරගෙන යෑමේ වගකීම රජයට මූලික වශයෙන්ම පැවරෙනවා. අපි කොතෙක් දුරට සාර්තකව කරගන්නවා ද කියන කාරණාව මූලික වශයෙන්ම වැදගත් වනවා. අපිට ණය ගෙවීමේ හැකියාව පවත්වාගෙන යෑම තිරසාරව කොතෙක් දුරට පුළුවන් ද කියන එක ඒ මත තීරණය වෙනවා."