December, 31, 2024
කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) කොටස් තැරැව්කාර ආයතනය සමඟ එක්ව සංවිධානය කරන “ඉන්වෙස්ට් ශ්‍රී ලංකා” ප්‍රාග්ධන වෙළෙඳපොළ ආයෝජක හමුව 2025 මාර්තු 27 සහ 28 යන දිනවල කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේදී පැවත්වේ. දේශීය හා ජාත්‍යන්තර සාංගමික ආයෝජකයින් සහ අරමුදල් කළමනාකරුවන් අතර ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළේ ආයෝජන ප්‍රවර්ධනය කිරීම මෙම අවස්ථාවේ අරමුණයි.
රටේ ආයෝජන හැකියාව ප්‍රදර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ නියෝජනය කරන ප්‍රධාන පාර්ශවකරුවන් මෙම සුවිශේෂී හමුව හරහා ඒකරාශී වනු ඇත. ඒ හරහා විශේෂයෙන්ම මෑතකාලීන ආර්ථික ප්‍රතිසංස්කරණ සහ නවතම ෆිච් ශ්‍රේණිගත කිරීම් හමුවේ ශ්‍රී ලංකාව ආයෝජන සඳහා වන ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස විදහා දැක්වෙනු ඇත. ශ්‍රි ලංකාවේ දිගුකාලීන විදේශ විනිමය නිකුතුව ශ්‍රේණිගත කිරීම RD මට්ටම, එනම් ණය පැහැරහරින ලද රාජ්‍යයක් යන මට්ටමේ සිට, CCC+ මට්ටම ඉහළ නංවා ඇත. මෙම ඉහළ යෑම රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේ සැලකිය යුතු ප්‍රගතිය පිළිබිඹු කරන අතර ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථායිකරණය පිළිබඳ ඉහළ යමින් පවතින විශ්වාසය වර්ධනය කරමින්, ආසන්න ණය පැහැර හැරීමේ අවදානම අවම වී ඇති බවට සනිටුහන් කරයි. විශේෂයෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්රයත්න, රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ සහ දැනට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන වැනි ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීම තුළින් දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටු කරමින්, විශ්වසනීයත්වය යළි ගොඩනැගීමට සහ ආයෝජක විශ්වාසය යළි දිනා ගැනීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයේ තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස එය දැක්විය හැක.
ආර්ථික අභියෝගවලට මුහුණ දීමට සහ දිගුකාලීන මූල්‍ය ස්ථාවරත්වය සහතික කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ශ්‍රී ලංකාව සතු කැපවීම මෙම වර්ධනයෙන් පෙන්නුම් වන හෙයින් එය ආයෝජකයින්ගේ මනෝභාවයට වැදගත් දිරිගැන්වීමක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
‘ඉන්වෙස්ට් ශ්‍රී ලංකා’ ප්‍රාග්ධන වෙළෙඳපොළ ආයෝජක හමුව 2025 සඳහා නියාමකයින්, වෙළඳපොළ අතරමැදියන් සහ ලැයිස්තුගත සමාගම් ඇතුළු රජයේ, මූල්‍ය සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ අංශවල ප්‍රධානීන් සහභාගී වන අතර මෙය ශ්‍රී ලංකාව ආකර්ෂණීය ආයෝජන ගමනාන්තයක් ලෙස ඉදිරිපත් කිරීම සඳහා වන සාමූහික ප්රයත්නයක් වනු ඇත.
ශ්‍රී ලංකාවේ ගතික ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ ආයෝජන අවස්ථා ඉස්මතු කරන සහක්රියා ප්‍රවර්ධනය කරමින් සහ අර්ථවත් සම්බන්ධතා ඇති කරගැනීමට මෙම හමුව අවස්ථාවක් වනු ඇත. ජාත්‍යන්තර අරමුදල් කළමනාකරුවන් සහ ශ්‍රී ලංකා සමාගම් අතර පෙර සැලසුම් කර ඇති සෘජු සාකච්ඡා හරහා වැඩිදුරටත් ආයෝජන හවුල්කාරිත්වයන් සඳහා පහසුකම් සැපයෙනු ඇත.
2025 ප්‍රාග්ධන වෙළෙඳපොළ ආයෝජක හමුව පැවත්වෙන්නේ රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ මූල්‍ය වෙළෙඳපොළ ලිබරල්කරණය හරහා ආයෝජකයින්ට ආකර්ෂණීය පරිසරයක් නිර්මාණය කරමින් ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ සඳහා අඛණ්ඩ ධනාත්මක වර්ධනයක් ඇති අවස්ථාවකය. විදේශ ආයෝජන මෙහෙයවීම සහ ආසියාවේ ප්‍රත්‍යන්ත දේශ වෙළෙඳපොළක් ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීම අරමුණු කරගත් පූර්ව මුලපිරීම් මත මෙම හමුව ගොඩනැගෙනු ඇත.