2025 අවසානයේ දී ඩොලර් බිලියන 7ක විදෙස් සංචිත ඉලක්කයක්

    January, 7, 2025

    2025 වසර අවසන් වන විට ඩොලර් බිලියන 7ක සංචිතයක් රදවා ගැනීමේ ඉලක්කයක් ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

    ඔහු මේ බව පවසා සිටියේ ඊයේ "දෙරණ 360" වැඩසටහනට එක් වූ අවස්ථාවේදීයි.

    අධිපතිවරයා එහිදී වැඩි දුරටත් පවසා සිටියේ 2024 වසරේ රදවා ගැනීමට අපේක්ෂා කළ ඉලක්කගත විදෙස් සංචිත ප්‍රමාණය වූ ඩොලර් බිලියන 5.6ක ඉලක්කය ඉක්මවා යමින් ඩොලර් බිලියන 6.5ක විදෙස් සංචිත ප්‍රමාණයක් රැස් කරගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූ බවත් 2025 වසර අවසානයේ එය ඩොලර් බිලියන 7ක ඉලක්කය ‌වෙත ලගා වීම අපහසු කාර්යයක් නොවන බවත්ය.

    "ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වෙච්ච සංචිත ගොඩනැගීමේ මාර්ගයක් තියනවනේ. එතකොට මේ වසරේ (2024) අවසානයට ඇත්ත වශයෙන්ම තිබුනේ, ඉලක්කය අනුව බිලියන 5.6ක් වගේ ගාණක් තමයි ඉලක්කය තිබුනේ. අපි බිලියන 6.5ට වැඩි කරලා දැන් අර පරණ ණය ඔක්කොම ගෙවලා ඉවර උනාට පස්සෙත් මේ වසර අවසාන වෙනකොට බිලියන 6.1ක් තියනවා. මේ අවුරුද්ද (2025) අවසාන වෙනකොට තියෙන්නේ බිලියන 7ක් දක්වා වැඩි කරගැනීම. නැත්තන් බිලියන 6.1 දැනට තියන තත්ත්වය බිලියන 7 දක්වා නංවා ගැනීම. මම හිතන්නේ ඒක අපහසු කාර්යයක් නෙවෙයි. අපට ඒක බිලියන 7 දක්කවා නංවා ගන්න වාහන ආනයනය ඔය ආකාරයට විවෘත කරත් බිලියන 7 ක් ගන්න පුළුවන්."