January, 7, 2025
මෙරට නිල සංචිත වත්කම් වටිනාකම 2024 දෙසැම්බර් මාසය තුළ දී 5.6% කින් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ.
2024 දෙසැම්බර් මාසයේ දී මෙම නිල සංචිත වත්කම් අගය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.09 ක් ලෙසින් දැක්වෙන අතර එය 2024 නොවැම්බර් මාසයේ දී ඩොලර් බිලියන 6.45 ක් ලෙසින් සටහන්ව තිබිණි.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද දෙරණ සමඟ පැවසුවේ 2024 වසර අවසාන වන විට රඳවා ගැනීමට අපේක්ෂා කළ සංචිත ඉලක්කය ඩොලර් බිලියන 5.6ක් බවයි. කෙසේවෙතත් එම ඉලක්කය ඉක්මවා යාමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී තිබෙන බවද අධිපතිවරයා එහිදී පැවසීය.
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වෙච්ච සංචිත ගොඩනැගීමේ මාර්ගයක් තියනවනේ. එතකොට මේ වසරේ (2024) අවසානයට ඇත්ත වශයෙන්ම තිබුනේ, ඉලක්කය අනුව බිලියන 5.6ක් වගේ ගාණක් තමයි ඉලක්කය තිබුනේ. අපි බිලියන 6.5ට වැඩි කරලා දැන් අර පරණ ණය ඔක්කොම ගෙවලා ඉවර උනාට පස්සෙත් මේ වසර අවසාන වෙනකොට බිලියන 6.1ක් තියනවා. මේ අවුරුද්ද (2025) අවසාන වෙනකොට තියෙන්නේ බිලියන 7ක් දක්වා වැඩි කරගැනීම. නැත්තන් බිලියන 6.1 දැනට තියන තත්ත්වය බිලියන 7 දක්වා නංවා ගැනීම. මම හිතන්නේ ඒක අපහසු කාර්යයක් නෙවෙයි. අපට ඒක බිලියන 7 දක්කවා නංවා ගන්න වාහන ආනයනය ඔය ආකාරයට විවෘත කරත් බිලියන 7 ක් ගන්න පුළුවන්."
ඊයේ විකාශය වූ "දෙරණ 360" වැඩසටහන සමඟ එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසීය.