සේවක අර්ථසාධක අරමුදලේ වටිනාකම රු. ට්‍රිලියන 4 ඉක්මවයි

    January, 8, 2025

    මෙරට විශාලතම විශ්‍රාමික අරමුදල වන සේවක අර්ථසාධක අරමුදලේ වටිනාකම 2024 වසරේ දී රු. ට්‍රිලියන 4 සීමාව ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

    අද (08) පෙරවරුවේ, 2025 සහ ඉදිරිය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් අධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේය.

    මේ අතර අද දින එළිදක්වන ලද, 2025 සහ ඉදිරිය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

    සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණය

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කළමනාකරණය කරනු ලබන සේවක අර්ථසාධක අරමුදල, රටේ විශාලතම විශ්‍රාමික අරමුදල වන අතර එහි වටිනාකම 2024 වසරේ දී රුපියල් ට්‍රිලියන හතර ඉක්මවා ඇත.

    සේවක අර්ථසාධක අරමුදල විසින් මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා වාර්තා ඩිජිටල්කරණය සහ සාමාජික දායක මුදල් මාර්ගගත ගෙවීම් හරහා සිදු කිරීමට ඉඩ ලබා දීම ඇතුළු විසඳුම් කිහිපයක් ක්‍රියාත්මක කරයි.

    නිසැකවම, මාර්ගගත ගෙවීම් ක්‍රම හඳුන්වාදීම තුළින් සේවා යෝජකයින්ට ඔවුන්ගේ සේවක අර්ථසාධක දායක මුදල් ගෙවීමේ පහසුව සහ නම්‍යශීලීභාවය ලබා දෙනු ඇති අතර මෙමගින් ක්‍රියාවලිය තවදුරටත් විධිමත් කර පරිපාලනමය ගැටලු අඩු කරනු ඇත.

    නවීන විසඳුම් සමඟින් දායක මුදල් එකතු කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරන අතරම සාමාජිකයින්ට විශ්‍රාම ගැනීමට පෙර සහ පසුව ප්‍රතිලාභ ලබාදීමේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සඳහා ක්‍රියාමාර්ග කිහිපයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

    තවද, පවතින පද්ධති සහ ක්‍රියාවලිය නැවත වැඩිදියුණු කර සකස් කිරීම සඳහා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ යටිතල පහසුකම් නවීකරණය කිරීමට අපේක්ෂා කෙරේ. මෙම පුළුල් තොරතුරු සන්නිවේදන තාක්‍ෂණික විසඳුම, ස්වයංක්‍රීයකරණ ක්‍රියාවලීන් සඳහා පහසුකම් සපයන අතර අරමුදල වඩාත් ඵලදායී ලෙස කළමනාකරණයට මගපාදනු ඇත.

    සේවක අර්ථසාධක අරමුදල, සමස්ත අරමුදලේ ආරක්ෂාව සහතික කරන අතරම ඉහළ අවදානම්- ගැළපුම් ප්‍රතිලාභ අනුපාතයක් ලබාගැනීම සඳහා එහි ආයෝජන විවිධාංගීකරණය කිරීමේ මාර්ග පිරික්සමින් සිටියි. මෙම ක්‍රියාමාර්ග අනුගමනය කිරීම මගින්, සේවක අර්ථසාධක අරමුදල තම සාමාජිකයින් සඳහා ආරක්ෂිත සහ ස්ථාවර විශ්‍රාම ප්‍රතිලාභ ලබා දීම සඳහා වන කැපවීම පවත්වා ගැනීම අරමුණු කරයි.