කොටස් වෙළෙඳපොළේ ආයෝජනයෙන් EPF අරමුදලට ගජ වාසියක්

    January, 10, 2025

    සේවක අර්ථසාධක අරමුදල (EPF) කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම්වල සිදුකර ඇති ආයෝජනවල වෙළෙඳපොළ වටිනාකම 2024 සැප්තැම්බර් 30වන දිනට රු. බිලියන 109.69 ක් බව EPF අරමුදල විසින් නිකුත් කර ඇති නවතම වාර්තාව මගින් පෙන්වා දෙයි. එදිනට අරමුදල විසින් කොටස් ‌වෙළෙඳපොළ සමාගම්වල කර ඇති ආයෝජනයන් හි මුළු ගැනුම් පිරිවැය රු. බිලියන 88.67 ක් වූ අතර ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල කොටස් ‌වෙළෙඳපොළ තුළ ආයෝජනයෙන් අත්පත් කරගෙන ඇති සමස්ථ ලාභය රු. බිලියන 21.01කි.

    ‍කෙසේ වෙතත් 2024 ජුනි 30වන දින සේවක අර්ථසාධක අරමුදල කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ සිදුකර ඇති ආයෝජනවල වෙළෙඳපොළ වටිනාකම සටහන්ව තිබුණේ රු. බිලියන 110.03ක් ලෙසයි.

    මේ වන විට සේවක අර්ථසාධක අරමුදල විසින් කොටස් වෙළඳපොළ තුළ ආයෝජනය කර ඇති ලැයිස්තුගත සමාගම් සංඛ්‍යාව 66 ක් වේ. 2024 ජුනි 30 වන දිනට එම සංඛ්‍යාව 67 ක් වූ අතර ඒ අනුව පසුගිය කාර්තුව තුළ දී සොෆ්ට් ලොජික් හෝල්ඩිංග්ස් සමාගමේ සිදුකර තිබූ ආයෝජනවලින් සම්පූර්ණයෙන්ම ඉවත්වීමට අරමුදල පියවර ගෙන තිබේ.

    ලැයිස්තුගත කොටස් ආයෝජනය තුළින් රු. බිලියන දෙක ඉක්මවා ප්‍රාග්ධන ලාභ අත්පත් කර ගෙන ඇති සමාගම් 4ක් සැප්තැම්බර් 30වන දිනට වාර්තා වී ඇත.

    එහි දී වැඩිම ප්‍රාග්ධන ලාභයක් අත්පත් කරගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික‌යෙකු වන ඉෂාර නානායක්කාර මහතා ප්‍රධානත්වය දරන LOLC හෝල්ඩිංග්ස් හි ආයෝජනයෙන් වන අතර එමගින් අරමුදල ලබා ඇති ලාභය රු. බිලියන 4.91 කි. මීට අමතරව රෝයල් සෙරමික් රු. බිලියන 3.43 ක්, වැලිබල් වන් රු. බිලියන 2.81 ක් සහ සම්පත් බැංකුව රු. බිලියන 2.27ක් ලෙස අර්ථසාධක අරමුදලට බිලියන දෙක ඉක්මවූ ලාභ ගෙන දී තිබෙන අනිකුති ආයෝජන හදුනාගත හැකිය.

    තව ද, රිචඩ් පීරිස් සමාගමේ ආයෝජනයෙන් රු. බිලියන 1.92 ක ලාභයක්, කාර්ගීල්ස් සිලෝන් හි ආයෝජනයෙන් රු. බිලියන 1.82ක්, HNB හි ආයෝජනයෙන් රු. බිලියන 1.73ක්, CIC හෝල්ඩිංග්ස් (voting) හි ආයෝජනයෙන් රු. බිලියන 1.28ක් සහ CT හෝල්ඩිංග්ස් හි ආයෝජනයෙන් රු. බිලියන 1.06ක් ලෙස රුපියල් බිලියනය ඉක්ම වූ ලාභ අත්පත් කර ගැනීමට සේවක අර්ථසාධක අරමුදල සමත් වී ඇත.

    සේවක අර්ථසාධක අරමුදල් කොටස් වෙළෙඳපොළ ආයෝජන කළඹෙහි වැඩිම අලාභ පෙන්වන සමාගම් ලෙසින් කලම්බු ඩොක්යාර්ඩ් - රු. බිලියන 2.28 ක්, DFCC - රු. බිලියන 1.42ක්, බුකිට් ඩරා - රු. බිලියන 1.13ක් සහ බ්‍රවුන් ඇන්ඩ් කම්පැනි - රු. බිලියන 1ක් ලෙස දැක්විය හැකිය.

    සේවක අර්ථසාධක අරමුදල ශ්‍රී ලංකාවේ විශාලතම හා වඩාත්ම පුළුල් සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය වේ. 1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත මඟින් පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයන්හි සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස සේවක අර්ථසාධක අරමුදල ස්ථාපිත කරන ලදී. මෙය ලංකාවේ විශාලතම විශ්‍රාම වැටුප් ක්‍රමය ලෙස හැඳින්විය හැකිය.

    2024 සැප්තැම්බර් 30වන දිනට සේවක අර්ථසාධක අරමුදලේ කොටස් වෙළෙඳපොළ සමාගම් ආයෝජන කළඹ පිළිබඳ ලැයිස්තුව පහතින් දැක්වේ.