හම්බන්තොට නව තෙල් පිරිපහදුවකට සයිනොපෙක් සමග ගිවිසුම් අත්සන් තබයි. ඩොලර් බිලියන 3.7ක දැවැන්ත සෘජු විදේශ ආයෝජනයක්

    January, 16, 2025

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේදී මෙරටට හිමිවූ විශාලතම ආයෝජනය සනිටුහන් කරමින්  හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව ශ්‍රී ලංකාවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ චීනයේ සයිනොපෙක් සමාගම අතර ගිවිසුමකට අත්සන් තැබීම අද (16) පෙරවරුවේ සිදු කෙරුණි.

    ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන සයිනොපෙක් සමාගම ඩොලර් බිලියන 3.7ක සෘජු විදේශ ආයෝජනයක් යටතේ මෙරට ඉදිකිරීමට නියමිත මෙම තෙල් පිරිපහදුව තෙල් බැරල් ලක්ෂ 02ක ධාරිතාවකින් යුක්ත අතර ඉන් අතිවිශාල ප්‍රමාණයක් අපනයනය කිරීමට සැලසුම් කර තිබේ.

    චීනයෙන් ශ්‍රී ලංකාවට හිමි වු මෙම දැවැන්ත ආයෝජනය මෙරට ආර්ථික වර්ධනයට මෙන්ම හම්බන්තොට ප්‍රදේශයේ අඩු අදායම්ලාභී ජනතාවගේ ජීවනෝපායමාර්ග ද ශක්තිමත් කිරීමට දායක වනු ඇත. එසේම ඉතා ඉක්මණින් මෙහි ප්‍රතිලාභ සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට හිමි වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

    විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොන්ග්, චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී විය.