කොළඹ වරායේ උපදේශක සේවා කොන්ත්‍රාත්තුවක් Dohwa Engineering Co. Ltd වෙත

    January, 21, 2025

    කොළඹ වරාය පුළුල් කිරීමේ අදියර II හි බටහිර බහාළු පර්යන්තය II සඳහා බටහිර දියකඩනය දීර්ඝ කිරීමේ සවිස්තරාත්මක සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිණිස 2023‑06‑26 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
    ඊට අදාළ උපදේශක සේවාව සඳහා තාක්ෂණික සහ මූල්‍ය සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව විසින් කැමැත්ත පළ කර ඇති අතර, ආසියානු සංවර්ධන බැංකුවේ නිර්ණායකයන්ට අනුකූලව අභිලාෂය ප්‍රකාශ කිරීම කැඳවා තිබේ.
    අයදුම්කරුවන් 20දෙනෙකු ඒ සඳහා සිය අභිලාශ ප්‍රකාශ කිරීම් ඉදිරිපත් කර ඇති අතර, 07 දෙනෙකු පූර්ව සුදුසුකම් සපුරා ඇත. ඒ අතුරින් ආයතන 05ක් සවිස්තරාත්මක යෝජනා ඉදිරිපත් කර තිබේ.
    තාක්ෂණික පිරිවිතර සපුරන ලද ආයතන 03ක මූල්‍ය යෝජනා ඇගයීමට ලක් කිරීමෙන් අනතුරුව අදාළ උපදේශක සේවා කොන්ත්‍රාත්තුව M/s. Dohwa Engineering Co. Ltd. වෙත පිරිනැමීම අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇත.
    ඒ අනුව, එකී කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.