February, 13, 2025
ඉදිරියේදී පැවැත්වීමට නියමිත Ride for Ceylon පාපැදි සවාරියට සහභාගී වීමට නියමිත පිරිසක් පසුගියදා එක්සත් රාජධානියේ සහ කැනඩාවේ සිට ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙරටට ළඟා වූහ.
මෙම පාපැදි සවාරිය 2025 පෙබරවාරි 12 දින සිට 15 දින දක්වා පැවැත්වීමට නියමිතව ඇත. කොළඹ, හලාවත, අනුරාධපුරය, කිලිනොච්චිය සහ පේදුරු තුඩුව හරහා කිලෝමීටර් 450 ක් දුරක් ආවරණය කරන මෙම පාපැදි සවාරියේ ප්‍රධාන අරමුණු වන්නේ, යාපනයේ ග්‍රීන් අනුස්මරණ රෝහල වෙනුවෙන් අරමුදල් රැස්කිරීම සහ ශ්‍රී ලංකාව යනු ඓතිහාසික හා සංස්කෘතිකමය වශයෙන් බෙහෙවින් වැදගත් සුන්දර රටක් බවට ලොවට පෙන්වා දීම ය.
මීට පෙරද අවස්ථා රැසකදී පාපැදි සවාරි වැඩසටහන්වල පෙරමුණ ගනිමින්, ශ්‍රී ලංකාව යනු වෘත්තීය මට්ටමින් සහ විනෝදාංශයක් ලෙස පාපැදි ක්‍රීඩාවේ නිරත වීම ඇතුළුව විවිධ ක්‍රීඩා, විනෝදාංශ සහ ත්‍රාසජනක ක්‍රියා සඳහා බෙහෙවින් සුදුසු රටක් බවට ජාත්‍යන්තර වශයෙන් ප්‍රචාරයක් ලබාදීමට ශ්‍රීලංකන් ගුවන් සේවය කටයුතු කර තිබේ.
මෙම උත්සාහයේ සාර්ථකත්වය තහවුරු කරමින් මේ ආකාරයට Ride for Ceylon වැඩසටහනට සහභාගී වන්නන් පිරිසක් ශ්‍රීලංකන් ගුවන් සේවය තෝරාගැනීම පිළිබඳව එම ගුවන් සේවය සිය සතුට පළකර සිටී.

Video Story