හංගේරියානු ණය ප්‍රතිව්‍යූහගතකරණ ගිවිසුමට කැබිනට් අනුමැතිය

    February, 20, 2025

    විදේශ ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියට අදාළව හංගේරියානු අපනයන ණය රක්ෂණ පුද්ගලික සමාගම සහ ශ්‍රී ලංකා රජය අතර ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳව වන ගිවිසුම

    2022 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකා රජය විසින් තෝරාගත් විදේශ රාජ්‍ය ණය සඳහා ණය සේවාකරණය අත්හිටුවීමේ අතුරු ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව, රාජ්‍ය ණය තිරසරභාවය ළඟා කර ගැනීම සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට එළඹ ඇති අතර මේ වන විට දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන සාර්ථකව නිම කර ඇත. තව ද, විදේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණයට අදාළව නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ. එකී අවබෝධතා ගිවිසුම පරිදි විනිවිදභාවය සහ සංසන්දනාත්මක බව සහතික කරමින් අනෙකුත් අදාළ රටවල් සමඟ ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා වන ගිවිසුම්වලට එළඹිය යුතු වේ.

    ඒ අනුව, හංගේරියානු අපනයන ණය රක්ෂණ පුද්ගලික සමාගම සහ ශ්‍රී ලංකා රජය අතර ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳ ගිවිසුමකට අත්සන් තැබීමට සැලසුම් කර ඇත. හිඟ ණය ප්‍රතිශෝධනය මඟින් ණය සහනයක් ලබා දීමට හංගේරියානු අපනයන ණය රක්ෂණ පුද්ගලික සමාගම එකඟ වී ඇති අතර, එලෙස ප්‍රතිශෝධනය කරනු ලබන සියලුම ණය මෙම යෝජිත ගිවිසුම යටතේ ආවරණය වනු ඇත.

    යෝජිත ගිවිසුම සඳහා නීතිපති විසින් සිය නිෂ්කාශනය ලබා දී තිබේ. ඒ අනුව, හංගේරියානු අපනයන ණය රක්ෂණ පුද්ගලික සමාගම සමග ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳ ගිවිසුමකට එළඹීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    Video Story

    Stock Market

    Exchange Rates